චීන රජය සෑම විටම ශ්‍රී ලංකාව සමඟ



ශ්‍රී ලංකාවට සෑම ආකාරයකින් ම සහාය ලබාදෙන බවත් චීන රජය සෑම විටම ශ්‍රී ලංකාව සමඟ සිටින බවත් මෙරට චීන තානාපති චී ෂෙන්හොංග් මහතා ඉකුත් දා පැවැසීය.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොංග් අතර හමුවක් කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඉකුත් දා (30) පැවැත්විණි.

චීන තානාපතිවරයා ඉහත අදහස් පළ කළේ එම හමුවේදී ය.

විදේශ කටයුතු අමාත්‍යවරයා සහ චීන තානාපතිවරයා අතර සුහඳ පිළිසඳරක් පැවැති බවත් දෙදෙනා අතර ද්විපාර්ශවීය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බවත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.

චීනය, අඛණ්ඩව ශ්‍රී ලංකාවය ලබාදෙන සහාය ඇගයීමට ලක් කළ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳවත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අහිතකර බලපෑම් ඇති කර තිබෙන ඉන්ධන, ඖෂධ, සහ උපකරණ හිඟය පිළිබඳවත් චීන තානාපතිවරයාට විස්තර කළේ ය.

වත්මන් අභියෝග ජයගැනීම සඳහා ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර නියෝජිතායතන සමඟ නිරන්තරයෙන් සාකච්ඡා පැවැත්වෙන බව ද විදේශ අමාත්‍යවරයා කීය.

‘එක් චීනයක් ප්‍රතිපත්තිය’ වෙනුවෙන් ශ්‍රී ලංකාව අඛණ්ඩව නැඟී සිටින බවට චීන තානාපතිවරයාට සහතික වූ වි‍දේශ අමාත්‍යවරයා, චීනයේ ස්වෛරීයත්වය සහ භෞමික අඛණ්ඩතාවය සුරක්ෂිත කිරීම සඳහා නොසැලී සහාය දෙන බව ද ප්‍රකාශ කළේ ය.

රුවන්ඩාවේ කිගාලි හි දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයන්ගේ රැස්වීම අතරතුර දී තමන් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සහ මෙම දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට අවශ්‍ය වන සහාය පිළිබඳව රටවල් 12 ක රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ද අමාත්‍යවරයා පැවැසීය.

මූල්‍යමය සහාය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අඛණ්ඩව පැවැත්වෙන සාකච්ඡා මෙන්ම, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ වඩාත් දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කොට ඇති පියවර පිළිබඳව ද විදේශ අමාත්‍යවරයා චීන තානාපතිවරයා දැනුවත් කළේ ය.

චීන තානාපතිවරයා මෙහිදි ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය සහ ‘එක් චීනයක් ප්‍රතිපත්තිය’ පිළිබඳ එහි අඛණ්ඩ ස්ථාවරය අගය කළේය.

හැකි සෑම අයුරකින්ම ශ්‍රී ලංකාවට සහාය ලබා දීම සඳහා චීන රජය ශ්‍රී ලංකාව සමඟ එක් වී සිටින බවට තානාපතිවරයා මෙහිදි සහතික විය.

චීන රජය විසින් ලබා දෙන නොමසුරු සහාය පිළිබඳව ශ්‍රී ලංකාවේ නොමඳ කෘතඥතාව පළ කරන බව ද විදේශ අමාත්‍යවරයා මෙහිදි පැවැසීය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීහු මෙම රැස්වීම සඳහා එක්ව සිටියහ.


RECOMMEND POSTS