ගෘහ සේවිකාවන් විදේශගත කිරීම මාර්තුවෙන් පසු අවසන්



මෙරට කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතකිරීම ලබන වසරේ මාර්තු මාසයේ සිට නතර කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් පුහුණුවක් සහිත ගෘහපාලන සහකාරවරියන්  (Advance House Keepers) විදේශ රැකියා සඳහා පිටත් කිරීමට පියවර ගන්නා බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

මෙම කාන්තාවන් වෙත විශේෂ පුහුණුවක් සමඟ එන්වී.කිව් සහතිකයක් ලබාදී විදේශ රැකියා සඳහා යොමු කරන බවත්, එම පුහුණුව ඉදිරියේදී ආරම්භ කරන බවත් කී ඇමතිවරයා ඉන්පසු අඩු දැනුම හා පුහුණුව ඇති කාන්තාවන් විදේශගත නොකරන බව ද පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ජාත්‍යන්තර සංක්‍රමනික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති සැමරුම් උත්සවයකට එක්වෙමිනි.

විදේශ රැකියා සඳහා මෙරට ඉතිහාසයේ වැඩිම පිරිසක් විදේශ ගතව ඇත්තේ මෙම වසරේදී  බව කී මනූෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා මෙම වසරේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ඇතැයි ද කීවේය.

මින් වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම සංඛ්‍යාව 76,579ක් බවත් ඊට අමතරව කටාර් රාජ්‍යයට 69,992 දෙනකු, සෞදි අරාබිය වෙත 51,421 දෙනකු සහ ජපානයට ශ්‍රමිකයින් 4,410 දෙනෙකු පිටත්ව ගොස් ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.

තමන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් රාජකාරි ආරම්භ කරන විට මසකට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගිය ප්‍රමාණය 300- 400 අතර වූ බවත්, තමන් අමාත්‍යාංශය භාරගත් පසුව මාසිකව දහසකට ආසන්න සංඛ්‍යාවක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් කිරීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ වසරේ ගත වූ කාලය තුළ කොරියාවේ රැකියා සඳහා 6120 ක පිරිසක් පිටත්ව ගොස් ඇතැයි කී ඇමතිවරයා එය 2004 වර්ෂයෙන් පසු දකුණු කොරියාව බලා පිටව ගිය වැඩිම ශ්‍රී ලාංකිකයින් පිරිස බව ද කීවේය.

විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත්කර යැවීම මෙන්ම ඔවුන් උපයන මුදල් නීත්‍යානුකූලව මෙරටට ගෙන්වා ගැනීම සඳහාද පියවර ගෙන ඇති බව කී නානායක්කාර මහතා විදේශ ගතවන ශ්‍රමිකයාට ගුවන් තොටුපොලේදී පිළිගැනීමක් ලබාදීම සඳහා හෝප් ගේට් නමින් විශේෂ දොරටුවක් විවෘත කළ බවද පැවසීය.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS