ගුවන් ගමන් සතියක් අත්හිටුවයි
කොරෝනා වෛරසය පැතිර යාම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතක් සමඟ කුවේටය පැවැත්වූ සියළු ගුවන් ගමන් සතියක කාලයක් සඳහා අත්හිටුවීමට කුවේට් බලධාරීන් තීරණය කර ඇතැයි එරට පළවන ඇරැබ් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
ඒ අනුව 6 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පිලිපීනය , ඉන්දියාව, ලෙබනනය, සිරියාව සහ ඊජිප්තුව යන රටවල් 7 වෙත සහ එම රටවලින් පැමිණෙන ගුවන් ගමන් සේවා තාවකාලිකව අත්හිටුවීමට කුවෙට් සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන ඇත.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු එම රටවල් හතේ සති දෙකකට වැඩි කාලයක් ගතකළ විදේශීය ශ්‍රමිකයින්ට ද කුවේටය වෙත ඇතුළු වීම තාවකාලිකව තහනම් වනු ඇතැයිද ඇරැබ් ටයිම්ස් වාර්තා වේ සඳහන් වේ.
කෙසේ නමුත් අදාළ රටවලින් පැමිණෙන කුවේට් ජාතිකයින් සති දෙකක නිරෝධායන කාලයකට යටත්ව රටට ඇතුළු කර ගන්නා බවද එරට රජය සඳහන් කර සිටී.
මේවන විට කුවේටයෙන් කොරෝනා වෛරස් ආසාදිතයින් 58 දෙනෙකු වාර්තා වී ඇත.
මේ අතර කොරෝනා වෛරස් රෝගය සීඝ්රයෙන් පැතිරීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය කුවෙට් රාජ්‍යය වෙත සිදු කරන ගුවන් ගමනද් තාවකාලිකව අත්හිටුවා ඇතැයි එම ගුවන් සේවා කියා සිටී.
ලබන 12 වැනිදා දක්වා අදාළ ගුවන් ගමන් අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.
( තිළිණි ද සිල්වා )