ඖෂධ සහ වෛද්‍ය සැපයුම්



පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ඉල්ලීමකට අනුව ඉන්දියාව, ශ්‍රී ලංකාවට ඖෂධ සහ වෛද්‍ය සැපයුම් විශාල තොගයක් ඉකුත් දා (29) ප්‍රදානය කරන ලදි.

ඉන්දීය ජනතාවගේ තිළිණයක් ලෙස මෙරටට ගෙනා එම ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා වෙත බාරදෙන ලදි.

මෙම වෛද්‍ය සැපයුම් තොගය ශ්‍රී ලංකාවට කඩිනමින් භාර දීම සඳහා ඉන්දීය නාවික හමුදාවේ ඝාරියල් නෞකාව විශේෂයෙන් යොදවා තිබිණ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පැවති අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් හිඟය ඉකුත් මාර්තු මාසයේ ශ්‍රී ලංකා සංචාරයක නිරත වූ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතාගේ අවධානයට ලක් විය.

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම විවිධ වෛද්‍යායතන විසින් කරන ලද ඉල්ලීම් අනුව ඉන්දියාව තවත් වෛද්‍ය සැපයුම් තොග ලබාදීමට නියමිතය.

මීට අමතරව ආහාර, ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා වන ඇමරිකානු ඩොලර් බිලියන 1ක ණය පහසුකම යටතේ වෛද්‍ය සැපයුම් ලබා දීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200ක් වෙන් කර තිබේ.

හර්ෂණ තුෂාර සිල්වා
(ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඇසුරිනි)

RECOMMEND POSTS