ඕක්ලන්ඩ් ප්‍රහාරය ගැන විදේශ අමත්‍යාංශයෙන් නිවේදනයක්



නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර 'නිව්ලින්' සුපිරි වෙළඳ සංකීර්ණය සිදුවුණු පිහි ප්‍රහාරයෙන් 6 දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූ 6 දෙනාගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බවයි නවසිලන්ත මාධ්‍ය වාර්තා සඳහන් කළේය. තුවාලකරුවන් අතර 62 හැවිරිදි අයකු සිටින බවත් ඔහු ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

ප්‍රහාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නවසිලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් සඳහන් කළේ එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, ප්‍රහාරය සිදු කළේ 2016 වසරේ සිට, නවසීලන්ත පොලිසියේත් බුද්ධි අංශයේත් විමසිල්ල යටතේ පසුවුණු අන්තවාදී අදහස් ඇති, අයි.එස්.අයි.එස්. සංවිධානයේ මතවාද අනුමත කළ ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයකු බවය. ප්‍රහාරකයාගේ අනන්‍යතාව හෙලි නොකිරීමට මාධ්‍ය හමුවේ දී අග්‍රාමාත්‍යවරිය වගබලා ගත්තාය. එම තරුණයා 2011 වසරේ ඔක්තෝම්බර් මාසයේදී නවසීලන්තයට සංක්‍රමණය වූ අයෙකි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ සිදුවීම හෙළා දකින අතර, අවශ්‍ය ඕනෑම ආකාරයකින් නවසීලන්ත බලධාරීන් සමඟ කටයුතු කිරීමට සූදානම් බවය. ප්‍රහාරකයා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නවසීලන්ත බලධාරීන් ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වීම ප්‍රසංශා කරන අතරම, සිද්ධියෙන් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

32 හැවිරිදි මෙම තරුණයා සුපිරි වෙළෙඳ සංකීර්ණයට කඩා වැදී ප්‍රහාරය එල්ල කරද්දී, ඔහු ගැන විමසිල්ලන් සිට, ඔහු පසුපස ඔහුට හොරෙන් වෙ‍ෙළඳ සංකීර්ණයට ඇතුළු වුණු පොලිස් නිලධාරීන්, තත්ත්පර 60 ක් ඇතුළත තරුණයාට වෙඩි තබා ඔහු ඝාතනය කළේය. ඒ, තරුණයා යටත් වීම ප්‍රතික්ෂේප කළ බැවිනි. තරුණයා ප්‍රහාරයට යොදා ගත් පිහිය වෙ‍ෙළඳ සංකීර්ණයෙන් ලබා ගත් එකක් බව ද පැවැසෙයි


RECOMMEND POSTS