ඒජන්සිවලට එරෙහිව කාර්යංශයට ඉකුත් වසරේ පැමිණිලි 3053ක්



විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකිරීම, සංචාරක වීසා මඟින් ගෘහසේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා කාන්තාවන් යොමුකිරීම වැනි සිද්ධීන් පිළීබඳව විදේශ රැකියා නියෝජිතයාතනවලට එරෙහිව පැමිණීලි 3053ක්, ඉකුත් වසරේදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලැබී ඇත. 


ඒ අනුව පසුගිය වසර තුළදී කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මඟින් එවැනි වැටලීම් 177ක් සිදුකර තිබේ. එහිදී සංචාරක වීසා මඟින්, විදේශ ගතකිරීමට උත්සහ කිරීම්, ව්‍යාජ පවුල් පසුබිම් වාර්ථා සැකසීම්, මුදල් ලබාගෙන විදේශ රැකියා ලබානොදීම ඇතුළු අක්‍රමිකතා රැසකට සම්බන්ධ වංචනික විදේශ රැකියා එජන්සි ආයතන හා පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම විමර්ශන ඒකකයේ මැදිහත්වීම මත පසුගිය වසරේ අනුමැතීන් අත්හිටවූ විදේශ රැකියා ආයතන ගණන 32කි. 

විදේශ රැකියා ක්ෂේත්‍රයේ යහපැවැත්ම උදෙසා විදේශ රැකියා වංචනිකයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය නීත’ඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කොට තිබේ. අමාත්‍යතුමිය විසින් මෙලෙස නියෝග කොට ඇත්තේ, වංචනික විදේශ රැකියා නියෝජිතයින්, කාර්යාංශයේ ලියාපදිංචි නොවී කූට අන්දමින්, පුද්ගලයින් විදේශ රැකියා සඳහා යොමුකිරීමේ මුවාවෙන් විවිධ අක්‍රමිකතා සිදුකරන බව ඇයට පෞද්ගලිකව ලැබුණු පැමිණිලි සලකාය. මේවන විට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මඟින් අදාළ පැමිනිලි සම්බන්ධව වැටලීම් වැඩිකොට තිබේ. 

එසේම 2015 වසරේ විසඳීමට ඉතිරිවූ පැමිණිලිද සහිතව 2016 වසරේ විමර්ශන ඒකකයට ලද පැමිණිලි 3327ක් සඳහා විසඳුම් ලබාදී තිබේ. 

වංචනිකයින්ට එරෙහිව ලැබෙන පැමිණිලි කඩිනමින් විමර්ශනය කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව මඟින් කාර්යාංශයට අනුයුක්ත කරන ලද පොලිස් නිළධාරීන් ගණන 15කි. ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරු 4ක්, පොලිස් පරීක්‍ෂකවරුන් 4ක්, උප පොලිස් පරීක්‍ෂකවරුන් 4ක් හා පොලිස් සැරයන්වරුන් තිදෙනෙකුගෙන් සමන්විත වේ.

විදේශ රැකියා සම්බන්ධ වංචනික පුද්ගලයින්ට එරෙහිව පක්‍ෂ, පාට භේදයකින් තොරව හා අදාළ පුද්ගලයාගේ තරාතිරම නොබලා නීතියෙන් උපරිම දඩුවම් ලබාදීමට කටයුතු කරන බව මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි. වංචනික පුද්ගලයින් පිළිබඳ තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට දැනුම්දෙන ලෙස විදේශ රැකියා අමාත්‍යවරිය ඉල්ලා සිටී.  

මේ අතර, 2015 වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් මාසය දක්වා විශේෂ විමර්ශන අංශය විසින් සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 91කි.

   විනීතා එම් ගමගේ


RECOMMEND POSTS