එල්.ටී.ටී.ඊ. අභියාචනය ඉවතට



එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබෙන තහනම ඉවත් කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් වූ අභියාචනයක් යුරෝපා සංගම් අධිකරණය ඉකුත් සතියේ දී ඉවත දැමීය.

ඉවත දැමීමට යුරෝපා සංගම් අධිකරණය ඉකුත එල්.ටී.ටී.ඊ. සංවිධානය යුරෝපය තුළ ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරමින් සහ එම සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කරමින් පනවා ඇති තහනම් ඉවත් කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් ව තිබූ අභියාචනයක් එසේ ප්‍රතික්ෂේප විය.

ඩෙන්මාර්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුරෝපීය දේශපාලන උපශාඛාවක් මෙහි පෙත්සම්කරුවන් වන අතර අදාළ නඩු වියදම් සහ යුරෝපා සංගමයේ කවුන්සිලය දරන ලද වියදම් ගෙවන්නැයි ද යුරෝපා සංගම් අධිකරණය අදාළ පෙත්සම්කරුවන්ට නියෝග කළේ ය.

යුරෝපා සංගමයේ, යුරෝපා කවුන්සිලය 2019 වසරේ ජනවාරි මාසයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නැවත ලැයිස්තු ගත කළේ ය. මෙරට සිවිල් යුද්ධය අවසන් වීමෙන් වසර දහයකට පසු යුරෝපා කවුන්සිලය එලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නැවත ලැයිස්තු ගත කළ අතර එය අවලංගු කරන්නැයි ද පෙත්සම්කරුවන් ඉල්ලා තිබිණි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් වුවද 2019 වසර වනවිටත් ජාත්‍යන්තර වශයෙන් අරමුදල් රැස් කිරීමටත් සංවිධානාත්මක ලෙස නැගී සිටීමත් එම සංවිධානයට හැකියාව තිබූ බව යුරෝපා කවුන්සිලය සඳහන් කර තිබිණි. ත්‍රස්තවාදය මර්දනය කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය 2001 වසරේ සැප්තැම්බර් 28 වැනිදා යෝජනාවක් සම්මත කරගත් අතර එයින් විශේෂයෙන්ම ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ අරමුදල් රැස් කිරීම නැවැත්වීම අදාළ යෝජනාවේ මූලික අරමුණක් විය.

ඒ අනුව යමින් යුරෝපා සංගමය ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී සම්මත වූ යෝජනාව අනුමත කළේ ය. අදාළ යෝජනාව අනුව යමින් යුරෝපා සංගමයේ යුරෝපා කවුන්සිලය 2006 වසරේ දී පොදු පිළිවෙතක් අනුගමනය කරමින් 2006 වසරේ දී මුල් වරට එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළේ ය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් යුරෝපා සංගමය අනුගමනය කරන ස්ථාවරවයට එක්සත් රාජධානියේ සහ උතුරු අයර්ලන්තයේ සහාය හිමිවිය. ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුව සහ යුරෝපා සංගම් නීතියට අනුව යුද ගැටුම් පැවැතිය ද එමඟින් ත්‍රස්තවාදය පිටුදැකීම යන කරුණ අවලංගු නොවන බව ද යුරෝපා සංගම් අධිකරණය ප්‍රකාශ කළේ ය.

යුරෝපා සංගම් අධිකරණය මීට පෙරත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඩෙන්මාර්ක ශාඛාව ඉදිරිපත් කළ අභියාචනා කිහිපයක් ප්‍රතික්ෂේප කර තිබිණි. යුරෝපා සංගම් අධිකරණය මෙවර අදාළ අභියාචනාව සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කළේ ය.

හර්ෂණ තුෂාර සිල්වා
(සන්ඩේ ටයිම්ස්)


RECOMMEND POSTS