එක්ස්ප්‍රස් පර්ල් සිංගප්පූරු යයි



කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කර යළි රැගෙනයාමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එම නෞකාව කපා ඉවත් කිරීමේ මෙහෙයුම් සිදු කරන්නේ චීනයේ ෂැන්හයි ෂෙල්වේජ් (Shanghai Salvage) නම් ආයතනය මගිනි.

සිංගප්පූරුවේ ලියාපදිංචි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය අසල මුහුදේ දී 2021 මැයි මස ගිනි ගැනීමට ලක්වූ අතර, තිබී මුහුදුබත් වූ අතර, එය රැගෙනයාම එහි හිමිකාරීත්වය දරණ සමාගම විසින් සිදුකරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.

මුහුදුබත් වූ නෞකාව කැබලි කිරීමේ කටයුතු මීට කලකට ඉහතදී ආරම්භ වූ අතර, එහි පළමු අදියර යටතේ නෞකාවේ බඳෙන් ඉහළ කොටස රැගෙන ගිය බව ද ඇය සඳහන් කළාය.

මේ වන විට එහි දෙවන අදියර යටතේ ගින්න නිසා නෞකා බඳෙහි පැල්මක් ඇතිවූ ස්ථානයෙන් එය දෙකඩ කර ඇති බවත්, එහි එක්කොටසක් ඉහළට ගෙන තවත් නෞකාවක් මත තැන්පත් කර ඇති බවත් කී ලහඳපුර මහත්මිය මෙම සතිය අවසානයේ දී පමණ එය රැගෙන යනු ඇතැයි ද කීවාය.

මෙ නෞකාවේ සියලු කොටස් වාරකන් ඇරඹෙන ලබන මැයි මාසයට පෙර රැගෙනයාමට සැලසුම් කර ඇතැයි ද ලහඳපුර මහත්මිය පැවසුවාය.

එම සියලු කටයුතු සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ උපදෙස් හා නියාමන යටතේ සිදුකරනු ලබන බව කී ඇය සමුද්‍රීය පරිසරයට විය හැකි හානි අවම වන පරිදි මෙම කටයුතු සිදු කරන බව ද සඳහන් කළාය.

මෙම කොටස් සිංගප්පූරුවට රැගෙන යන බවට නෞකාව හිමි සමාගම දැනුම් දී ඇතැයි ද සභාපතිනිය පැවසුවාය.

සිංගප්පූරු ධජය යටතේ ගමන්ගත් ලොව විශාලතම වෙළෙඳ නෞකාවක් වන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව 2021 මැයි මස 20 වැනිදා කොළඹ වරායට නාවික සැතපුම් 9.5 දුරින් තිබියදී ගිනිගැනීමට ලක්වූ අතර, ඉන් මෙරට මුහුදු කලාපයට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ලබාගැනීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බව ඇය ප්‍රකාශ කළාය.

මෙම කොටස් රැගෙනයාමේදී ද යම් පරිසර හානියක් සිදුවිය හැකි බව කී සභාපතිනිය නෞකාව ගිනිගැනීමෙන් සිදුවූ සම්පූර්ණ හානිය පිළිබඳ ගණනය කර වාර්තාවක් සකස් කළ හැක්කේ නෞකාවේ සියලුම කොටස් රැගෙනයාමෙන් අනතුරුව බව ද ලහඳපුර මහත්මිය පැවසුවාය.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS