ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශයෙන් නිවේදනයක්



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව සිය අභිලාෂ ඉටු කරගැනීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් එහි ප්‍රකාශක අරින්දම් බගාචි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද සහ වටිනාකම්, ස්ථාපිත ආයතන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල රාමුවක් තුළින් සෞභාග්‍යය සහ ප්‍රගතිය සඳහා වන සිය අභිලාෂ ඉටු කරගැනීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ ඉන්දියාව එකට සිට ගන්නා බව එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ද එහි සඳහන් ය.

එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

“ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා වන අතර රටවල් දෙක ගැඹුරු ශිෂ්ඨාචාර ගත බැඳීමක් බෙදාහදා ගනී.

ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් අප දැනුවත් ව සිටින අතර මෙම දුෂ්කර කාලයේ දී එම අභියෝගවලින් මිදීමට උත්සාහ කරන ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ අපි එකට සිට ගනිමු.

අසල්වැසියාට ප්‍රමුඛතාව දෙන අපගේ ප්‍රතිපත්තියේ ප්‍රමුඛතම ස්ථානයක් ශ්‍රී ලංකාවට හිමි ව තිබේ. අපි ඒ අනුව කටයුතු කරන්නෙමු. ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් මේ වසරේ ගෙවුණු කාලයේ දී ඉන්දියාව, ශ්‍රී ලංකාවට අන් කවරදාකවත් නොවූ අයුරින් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.8 ඉක්මවා යන සහයෝගයක් ලබා දී තිබේ.” 


RECOMMEND POSTS