ඉන්දියාවෙන් මානුෂීය ආධාර



සංවර්ධන සහයෝගීතාවය හරහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජනතා කේන්ද්‍රීය ඉන්දියානු ව්‍යාපෘතී යටතේ මානුෂීය ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉකුත් සතියේ දී පියවර ගෙන තිබිණි.

කල්මුනේ, වැලිගම්පිටිය, බිංගිරිය, මැදවැව, කිරිමැටියාව, යාපනය,  මුලතිව්, කිලිනොච්චි, මන්නාරම, මහනුවර, හම්බන්තොට යන ප්‍රදේශවල මෙම වැඩසටහන් ක්‍රියාත්මක කර තිබිණි.

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් අශෝක් කුමාර් මහතා විසින් අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනේ ප්‍රදේශයේ වැන්දඹුවන් සහ අවශ්‍යතා සහිත පවුල් සඳහා වියළි ආහාර බෙදා දීම අප්‍රේල් මස 27 වැනිදා සිදු කෙරුණි. රාමසාන් උත්සවය වෙනුවෙන් ප්‍රතිලාභීන්ට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමේ අරමුණ ඇතිව තරුණ කාන්තා මුස්ලිම් සංගමය හා එක්ව මෙම විශේෂ වැඩසටහන සංවිධානය කර තිබිණි.

 ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය රේවන්ත් වික්‍රම් සිං මහතා විසින් අප්‍රේල් 17 වන දිනට යෙදුණු පාස්කු දිනය නිමිත්තෙන් වැලිගම්පිටිය, ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බැතිමතුන්ගේ පවුල් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙන ලදී. එසේම සිංහල සහ දමිළ අලුත් අවුරුද්දට පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ප්‍රදේශයේ ගම්මාන හයක සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවැව සහ කිරිමැටියාව යන ගම්මානවල අවශ්‍යතා සහිත ජනතාවට ද වියළි ආහාර බෙදා දෙන ලදී.

හර්ෂණ තුෂාර සිල්වා
(ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඇසුරිනි)

RECOMMEND POSTS