ඉන්දියාව විශ්වාසය තැබිය හැකි මිතුරකු බව කියයි



ඉන්දියාව විශ්වාසය තැබිය හැකි මිතුරකු සහ පාර්ශවකරුවකු බව නැවත වරක් අවධාරණය කළ බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

කාම්බෝජයේ පැවැත්වෙන ආසියානු කලාපීය සංසදයේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අතරවාරයේ දී මෙරට විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා හමු වී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඒ බව පැවැසීය.

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා සමඟ උණුසුම් සාකච්ඡාවක් පැවැති බව හෙතෙම කීය.

අලි සබ්‍රි මහතා විදේශ අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඉන්දීය විදේශ අමාත්‍යවරයා මුණ ගැසුණු පළමු අවස්ථාව මෙය වේ.

අමාත්‍යවරයාගේ නව වගකීමට සුබ පැතුම් එක් කළ බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩය මඟින් සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවට සිය ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කරගැනීමටත් ශ්‍රී ලංකාවේ සුබ සාධනය වෙනුවෙනුත් ඉන්දියාව කැප වී සිටින බව නැවත වරක් අවධාරණය කළ බව සඳහන් කරන ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉන්දියාව විශ්වාස කළ හැකි මිතුරකු සහ පාර්ශවකරුවකු බව ද කීය.

ඉන්දියාවට ඔවුන්ගේ අසල්වැසියාට ප්‍රමුඛත්වය විදේශ ප්‍රතිපත්තියට මුල් තැන දී කටයුතු කරන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ ය.


RECOMMEND POSTS