ඈන් කුමරිය යයි



මහා බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතරපවතින්නේ කිසි දිනෙක පළුදු නොවන මිත්‍රත්වයක් බවත්, එම මිත්‍රත්වය තවත් ශක්තිමත් කර ගැනීමට තමන්ටහැකිවුණු බවත් බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය පැවැසුවාය.

ඈන් කුමරිය, මේ බව පැවැසුවේ, ඇගේ ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින්, කොළඹ වෙස්ට්මිනිස්ටර් මන්දිරයේ පැවති විශේෂ පිළිගැනීමේ උත්සවය අමතමිණි.

ඈන් කුමරිය, සහ සැමියා වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස්,  තෙදින නිලසංචාරයක් සඳහා මෙරටට පැමිණියේ පසුගිය 10 වැනිදාය. මෙය ඈන් කුමරියගේ දෙවැනි ශ්‍රී ලංකා සංචාරයයි. ඇය මීට පෙර මෙරටට පැමිණියේ 1995 දීය.

ශ්‍රී ලංකාව යනු තමන් කවදත් ආදරේ කරන රටක් බවත්, එදත් අදත් ශ්‍රී ලාංකික වැසියන්ගේ ආගන්තුක සත්කාරවල අඩුවක් වී නැති බවත් මෙම ශ්‍රී ලංකා සංචාරයේ දී තමන්ට ලැබුණු උණුසුම් පිළිගැනීම ද කිසිදිනෙක අමතක නොවනු ඇති බවත් ඈන් කුමරිය වැඩි දුරටත් කියා සිටියාය.

ඈන් කුමරිය සහ සැමියා වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස්, තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේ මහා බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන්, මහා බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු නියෝජනය කරමිණි.

තෙවැනි චාල්ස් රජු, ඈන් කුමරියගේ වැඩිමල් සොයායුරාය.

ඈන් කුමරිය සහ සැමියා වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් පිළිගනිමින්, කොළඹ වෙස්ට්මිනිස්ටර් මන්දිරයේ පැවති විශේෂ උත්සවයට විදේශ අමාත්‍ය අලි සබ්රි, ලංකා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් සහ විදේශ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

අධ්‍යාපනය, ඉංග්‍රීසි, කලා සහ සංස්කෘතිය හරහා බොහෝ තරුණ තරුණියන්ට ඔවුන්ගේ හැකියාවන් සපුරාලීමට, බ්‍රිතාන්‍ය කවුන්සිලය සහාය ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් ද ප්‍රසංශා කිරීමට ඈන් කුමරිය අමතක නොකළාය.

තෙදින නිල සංචාරය අවසන් කළ73 හැවිරිදි ඈන් කුමරිය සහ සැමියා ශ්‍රීමත් තිමති ලෝරන්ස් 13 අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ලන්ඩන් නුවර බලා පිටව ගියහ.


RECOMMEND POSTS