ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් අමතර සහාය



ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන අමතර සහායක් වශයෙන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් ලබාදෙන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ දරුවන් අට ලක්ෂයකගේ (800,000) ආහාර අවශ්‍යතා ආවරණය වන පරිදි මෙම මුදල ලබා දේ.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ජී7 සමුළුවේ දී මේ බව නිවේදනය කර ඇති අතර කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් නිවේදනයක් ද නිකුත් කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය මෑතකාලීනව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ණය සහ ප්‍රදාන ලබාදුන් අතර ඊට අමතරව මෙම මුදල ලබා දේ.

පාසල් දරුවන් 800,000ක් ආවරණය වන පරිදි පාසල් පෝෂණ වැඩසටහන්වලට මෙම මුදල් යෙදවන අතර ඊට අමතරව ඉදිරි මාස 15ක කාලයේදී ගර්භණී මවුවරුන් සහ කිරිදෙන මවුවරුන් 27,000කගේ පෝෂණ අවශ්‍යතා සැපිරීමට පියවර ගැනෙනු ඇත.

ශ්‍රී ලංකාවේ අවදානම් සහගත තත්ත්ව පසුවන ප්‍රජාවල ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කෘෂිකර්මාන්තයට මුදල් සහ සහාය ලබාදීමට ද මෙමඟින් බලාපොරොත්තු වන අතර ආසන්න වශයෙන් ගොවීන් 30,000කට වැඩි පිරිසකට අවශ්‍ය සහයෝගය ලබාදීමට මෙමඟින් බලාපොරොත්තු වන බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.


RECOMMEND POSTS