අධ්‍යාපන පරිපාලනයේ නීති ලිහිල් වෙයි



පරිපාලන විශේෂ ශ්‍රේණිය සඳහා පුද්ගලයන් බඳවා ගැනීමට අදාළ නිර්නායක වෙනස් කරමින්, අධ්‍යාපන අමාත්‍යංශය සාමාන්‍ය නීතිය උඩුයටිකුරු කරමින් පශ්චාත් උපාධියක් ලබාගැනීම සහ පශ්චාත් උපාධියට ලියාපදිංචි වී තිබීම සමාන මට්ටමකට පත්කර තිබේ.

ඒ අනුව අධ්‍යාපන පරිපාලන විශේෂ ශ්‍රේණිය සඳහා පත්වීමට පශ්චාත් උපාධියක් ලබා සිටීම මෙන්ම පශ්චාත් උපාධියක් සඳහා ලියාපදිංචි වී සිටීම ද ප්‍රමාණවත් යැයි සඳහන් කරමින් අදාළ අයැදුම්කරුවන් වෙත දැනුවත්වීමට අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කර තිබේ.

මීට පෙර  අධ්‍යාපන පරිපාලන විශේෂ ශ්‍රේණිය සඳහා පුද්ගලයන් බඳවා ගන්නා විට පශ්චාත් උපාධියක් තිබීම අනිවාර්ය සාධකයක් ලෙස සලකා තිබුණ ද මෙවර එය වෙනස් කර ඇත.

කෙසේ වෙතත් මෙම තනතුරු සඳහා සුදුසුකම් ලැබීමට විශේෂ අධ්‍යාපනය, අධ්‍යාපන පරිපාලනය, අධ්‍යාපන මනෝවිද්‍යාව, අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය, පුස්තකාල සහ තොරතුරු තාක්ෂණය අධ්‍යාපනය මෙන්ම විභාග සහ ඇගයීම් පැවැත්වීම සම්බන්ධ ප්‍රවීණත්වය යන ක්ෂේත්‍රවල පශ්චාත් උපාධි සලකා බැලේ.

කෙසේ නමුත් මෙවර පශ්චාත් උපාධියක් ලබානොගෙන ඒ සඳහා ලියාපදිංචි වී සිටීම පමණක් ප්‍රමාණවත් ලෙස දක්වා ඇති අතර එය රජයේ හෝ පෞද්ගලික අංශයේ ආයතනයක් වුවද ප්‍රමාණවත් බව දක්වා ඇත.

අධ්‍යාපන පරිපාලන විශේෂ ​ශ්‍රේණිය සඳහා පත්වන පුද්ගලයන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළම තනතුරු හොබවන අතර, එම තනතුරු 14 ක් පමණක් ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පැහැදිලි කර තිබේ.


RECOMMEND POSTS