IMF යන අවසන් අවස්ථාව මෙය විය යුතුයි



ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන අවසන් අවස්ථාව මෙය විය යුතු යැයි මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරාළ මහතා කොළඹ දී පැවැසීය.

ඇඩ්වෝකාටා ආයතනය සංවිධානය කළ ආර්ථිකය “නැවත හදමු” ප්‍රතිසංස්කරණ සමුළුවට එක්වෙමින් මහාචාර්යවරයා සෙනසුරාදා (7) ඒ බව පැවැසීය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී මෙම සමුළුව පැවැත්විණි.

“අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන 17 වැනි අවස්ථාව මෙය” බව කී මහාචාර්ය අතුකෝරාළ මහතා එය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන අවසන් අවස්ථාව විය යුතු බව අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකාව තායිලන්තය ආදර්ශයට ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන අවසන් අවස්ථාව මෙය කරගත යුතු බව ද හෙතෙම කීවේ ය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අත්කෝරාළ මහතා මෙසේ ද කීය.

“අපි මීට පෙර 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් තියෙනවා. එයින් අවස්ථා 12කදී අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් තියෙන්නේ ගෙවුම් ශේෂ අර්බුද නිසා. මේ නිසා ශ්‍රී ලංකා මහ බැංකුව දන්නවා දත්ත සියුම්ව සකසන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න අවශ්‍ය වුණාම, ආයෝජන කල්දාන්න පුළුවන්. තාවකාලිකව බදු වැඩි කිරීම් හඳුන්වා දෙන්න පුළුවන්. එහෙම කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත් කරන්න, ඔවුන්ගේ නියම සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ ඉලක්ක සම්පූර්ණ කළොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි හම්බවෙනවා.

අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය අවස්ථා 16 අධ්‍යයනය කළහොත් අපි එයින් අවසන් කර තිබෙන්නේ වැඩසටහන් 7ක් පමණයි. දත්ත සියුම්ව සකස් කිරීම ලොකු භූමිකාවක් ඉටු කරලා තියෙන බවත් පෙනී යනවා. දිගුකාලීන සංවර්ධන ඇතුළු තවත් දේ කැප කරමින් ආයෝජන පස්සට දමමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කරලා තියෙනවා.

මේ අවස්ථාවේදී එය වෙනස් වෙන්න අවශ්‍ය යි. ආර්ථිකය ස්ථාවර කරන ගමන් ප්‍රතිසංස්කරණත් කළ යුතු යි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, නැත්නං වොෂින්ටනයට යන්නේ 17 වැනි පාරට. එය අවසන් අවස්ථාව විය යුතු යි. අපි තායිලන්තය වගේ නැවතත් ජාත්‍යන්තර අරමුදලට නොයා යුතු යි. එම අරමුණ ළඟා කරගැනීමට නම් අපනයන විරෝධී ක්‍රමවේදයට පිළිතුරු සපයන්න අවශ්‍ය යි. අපේ ප්‍රශ්නය බරපතළ කාරණයක් වුණේ එයයි”.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීත්වයෙන් පසුගිය සිකුරාදා (5) මෙම සමුළුව ඇරැඹි අතර සිකුරාදා (5) සහ සෙනසුරාදා (6) දෙදින මුළුල්ලේ සමුළුව පැවැත්විණි.

කීර්තිමත් ආර්ථික විද්‍යාඥයකු වන මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරාළ මහතා ඇඩ්වෝකාටා ආයතනයේ උපදේශක මඬුල්ලේ සාමාජිකයෙකි.

හෙතෙම ඔස්ට්‍රේලියානු නැෂනල් විශ්වවිද්‍යලායේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයකු ලෙස කටයුතු කරයි.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS