1065 ක් දකුණු ආසියා රටවල් වලින් ගෙන්වලා



දකුණු ආසියානු  රටවල් වල සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 1,065 දෙනෙකු ගතවූ  දින 10 ක කාලයක් තුළ දී මෙරටට රැගෙන ඒමට රජයට හැකිවූ බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.

ඒ අනුව ඉකුත් මාර්තු 21 වැනිදා සිට 30 වැනිදා දක්වා කාලය තුළ  ඉන්දියාවේ පන්ජාබ්,මුම්බායි, කොයිම්බතූර්, බැංගලෝර්, නවදිල්ලිය සහ කොල්කටා නගර වලින්ද ,  පකිස්තානයේ කරච්චි සහ ලාහෝර් නගර වලින්ද , නේපාලයේ කත්මන්දු , බංග්ලාදේශයේ ඩකා පිහිටි ගමනාන්තවල සිට කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කළ ශ්‍රී ලාංකික සිසු සිසුවියන් නැවත සියරට ගෙන්වීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වූ බවද අමාත්‍යාංශය කියා සිටී.

එසේම මේ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම් විශේෂ ගුවන් ගමන් වාර නවයක් ක්‍රියාත්මක කල අතර එම කටයුතු මාර්තු 30 වැනිදා  සිට සාර්ථකව අවසන් කළ බවද එම අමාත්‍යාංශය  නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටියේය.

මෙසේ සියරට පැමිණවූවන් අතරට, අදාළ රටවල අධ්‍යයන හා පුහුණු වැඩසටහන් සම්පූර්ණ කළ සහ නැවත ශ්‍රී ලංකාවේ නිල රාජකාරි භාර ගැනීමට නියමිතව සිටි රාජ්‍ය හා හමුදා නිලධාරීන් ද ඇතුළත් වන බවද විදේශ අමාත්‍යාංශය පෙන්වා දේ.

 මෙසේ ආපසු පැමිණි සියලුම දෙනා මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් ලබා දී ඇති පහසුකම් මත අනිවාර්ය නිරෝධායනයට ලක්ව සිටින්නේ යැයිද එම අමාත්‍යාංශය පැවසීය .

මෙම වසංගතය හේතුවෙන් ඇතිවන සංකීර්ණතා තුළින් පැන නගින ගැටලු රාශියක් මධ්‍යයේ, දකුණු ආසියාවේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල,ජනාධිපති ලේකම් කාර්යාලය, කොවිඩ් 19 කාර්ය සාධක බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් සමාගම් සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කරමින්, අදාළ විදේශ රජයන්ගේ ශක්තිමත් සහාය ද ඇතිව කලාපය තුළ බොහෝ නගරවල ස්ථානගතව සිටි සිසුන් ආරක්ෂිතව නැවත පැමිණීම  අමාත්‍යාංශය මඟින් සහතික කළ බවද එම අමාත්‍යාංශය කීය

ඒ අනුව ඩකා, කත්මණ්ඩු,නවදිල්ලිය, ඉස්ලාමාබාද්, චෙන්නායි, මුම්බායි සහ කරච්චි යන නගරවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ කොන්සල් ජනරාල් කාර්යාල විසින් තම අදාළ බල ප්‍රදේශවල සිටින සිසු සිසුවියන් පිළිබඳ දත්ත එක්රැස් කිරීම සිදු කරන ලද අතර, එමඟින් නැවත සියරට පැමිණවීමේ ක්‍රියාවලිය සැලසුම් කිරීම සඳහා අවශ්‍ය සිසු සිසුවියන් සහ අධ්‍යයන ආයතන එක්ව කටයුතු කළේය .

 විදේශ සබඳතා අමාත්‍යාංශයේ දකුණු ආසියා හා සාර්ක් අංශය, එහි අධ්‍යක්ෂ ජනරාල් අරුණි රණරාජා මහත්මියගේ නායකත්වයෙන් යුතුව වැඩබලන මහ කොමසාරිස් යූ.එල්. නියාස් මහතාගේ නායකත්වයෙන් යුත් ඉස්ලාමාබාද්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ ජී.එල්. ඥානදේව මහතාගේ නායකත්වයෙන් යුත් කරච්චි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය , ඉන්දියාවේ නවදිල්ලියේ වැඩබලන මහ කොමසාරිස් නිලූක කදුරුගමුව මහතාගේ නායකත්වයෙන්  ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය , මුම්බායි කොන්සල් ජනරාල් චමරි රොද්‍රිගෝ මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් මුම්බායි හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ද , චෙන්නායි හි නියෝජ්‍ය මහ කොමසාරිස් වඩිවේල් ක්‍රිෂ්ණමූර්ති මහතාගේ නායකත්වයෙන් යුත් චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ද , නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිනි හිමාලී අරුණතිලක මහත්මියගේ නායකත්වයෙන් යුත් කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , බංග්ලාදේශයේ වැඩබලන මහ කොමසාරිස් සමීර දයාසේකර මහතාගේ නායකත්වයෙන් යුත් ඩකා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එක්ව  ක්‍රියාවලිය සමඟ සම්බන්ධීකරණය කළ බවද විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටි.

මෙම පිරිස නැවත මෙරටට ගෙන්වා ගැනීමට බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය සහ පාකිස්තානය යන රටවල රජයන්, ප්‍රාන්ත රජයන් හා පළාත් පාලන ආයතන, ආගමන හා විගමන දෙපාර්තමේන්තු, සිවිල් ගුවන් සේවා බලධාරීන්, අධ්‍යයන ආයතන, මෙම රටවල අදාළ ත්‍රිවිධ හමුදාවන් සහ විශේෂයෙන් කොල්කටාහි මහාබෝධි සමිතිය ඇතුළු ශ්‍රී ලාංකික සංවිධාන විසින් ලබා දෙන ලද නොමසුරු සහයෝගිතාව සහ සම්බන්ධීකරණය පිළිබඳව විදේශ සබඳතා අමාත්‍යාංශය සහ දකුණු ආසියානු කලාපයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කෘතඥතාව පළ කරන බවද අමාත්‍යාංශය සදහන් කර සිටී.

( තිළිණි  ද සිල්වා )


RECOMMEND POSTS