හිරිහැරයට ලක්වුණු 36 ක් ආපසු එති



කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී එරට හාම්පුතුන්ගෙන් පෙරොන්දු වූ පරිදි වැටුප් නොලැබ සහ විවිධ හිරිහැරවලට ලක්වූ ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් 36 දෙනෙකු ඊයේ ( 01) දිවයිනට පැමිණි බව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර සිටී.

මෙලෙස පැමිණියේ කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ ඇති සුරක්ෂා නිවාසවල රැදී සිටි ලාංකික කතුන් පිරිසකි.

මෙම පිරිස කුවේටයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ඕමාන් එයාර්  සහ කටාර් එයාර් යන ගුවන් සේවා වලට අයත් ගුවන් යානා වලින් ඊයේ (01) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

ඔවුන් තම හාම්පුතුන්ගේ නිවෙස්වල සේවය කරමින් සිටියදී පෙරොන්දු වූ පරිදි වැටුප් නොලැබීම සහ  හිරිහැර හා පීඩා තවදුරටත් ඉවසාගත නොහැකිව මෙසේ කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ගොස් තිබූ අතර , ඉන්පසු එහි සුරක්ෂා රැදවුම් මධ්‍යස්ථානයේ රැඳී  සිටි පිරිසක් යැයිද එම තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

මොවුන් ගැන  විදේශ සබදතා, නිපුනතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතාට දැන ගැනීමට ලැබී ඇති අතර අමාත්‍යවරයාගේ විශේෂ මැදිහත් වීම මත කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම ගෘහ සේවිකාවන් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත.

මෙම ගෘහ සේවිකාවන් පිරිස රටේ විවිධ ප්‍රදේශ වල පදිංචිකරුවන් වූ අතර , ඔවුන්ට ගම්බිම් බලා යෑමට  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සහන දීමනාවක් ලබා දී ඇත.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS