සෞදියේ නීතිවිරෝධීව සිටි පිරිසකට ගමන් බලපත්‍ර



නීති විරෝධී ලෙස සෞදි අරාබියේ රැඳී සිටි ශ්‍රී ලාංකකියන් 3500 කට ආසන්න පිරිසකට මෙරටට පැමිණීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ගමන් බලපත්‍ර නිකුත් කොට ඇතැයි ශ්‍රී ලංකා විදේශසේවා නියක්ති කාර්යංශය කියයි.

ඔවුන් අතරින් බහුතරයක් මේ වනවිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් පිරිස මේ මස 25 වැනිදාට පෙර එරටින් පිටවිය යුතුය.

මේ වසරේ මාර්තු 21 වැනිදා සිට ජුනි 25 දක්වා සෞදියේ ප්‍රකාශයට පත් කර ඇති පොදු සමාකාලය තුළ මෙරටට පැමිණිමට මෙම ගමන් බලපත්‍ර ලබාගෙන ඇතැයි කාර්යංශය කියයි. 

මෙම කාලය තුළ නීතිවිරෝධීව රැඳී සිටින්නන් එරටින් පිටවීම අනිවාර්ය බවත්, පොදු සමාකාලය අවසන් වීමෙන් පසු කිසිඳු හේතුවක් මත එම කාලසීමාව දීර්ඝ නොකරන බවත්, සෞදි රජය ප්‍රකාශ කර සිටියි. එම කාලසීමාව තුළ එරටින් පිට නොවී තවදුරටත් රැඳී සිටින්නේ නම්, එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන දඩ මුදලකටද යටත් කර නැවත එරටට පැමිණිය නොහැකි ලෙස පිටුවහල් කරන බවත් එරට රජය දන්වා ඇත. 

සෞදි අරාබියේ සේවය කරන ලාංකිකයින්ගේ ඥාතීන්ගෙන් සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලා සිටින්නේ තමන්ගේ ඥාතීන් නීතිවිරෝධී අයුරින් එරට රැඳී සිටින්නේ නම්, ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඔවුන්ව දැනුවත් කරන ලෙසයි.
පොදු සමාකාලය තුළ සෞදි අරාබියෙන් පිටව යන ශ්‍රමිකයින්ට නැවතත් සෞදි අරාබියට නීත්‍යානුකූල ලෙස පැමිණිය හැකි බවත්, එරට ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා ප්‍රකාශ කරයි.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS