සාජා නුවර ඝාතනයක්



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු විසින් සාජා නුවරදී ස්වදේශික කාන්තාවකට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

අදාළ පුද්ගලයා එරට සේවය කරන 38 හැවිරිදි ලාංකිකයෙකු වන අතර ඔහු විසින් මරා දමා ඇත්තේ 28 හැවිරිදි ස්වදේශික කාන්තාවකි.
ඇය සාජාහි මේසැලුන් නම් ප්‍රදේශයේ වාසය කළ තැනැත්තියක් වන අතර ඝාතනය සිදු කොට තිබුණේ ඇගේ නිවස තුළ දීය.

එරට ආරක්ෂක අංශයට ලැබුණු තොරතුරක් මත කඩිනමින් එම කාන්තාව රෝහල් ගත කිරීමට ගිලන් රථයක් යවා තිබෙන නමුත් ඒ යනවිටත් ඇය ලේ විලක් මැද මියගොස් සිටි බව එහි ගිය නිළධාරින් වාර්තා කර තිබේ.

අදාළ ස්ථානයේ වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකොට ඇඟිලි සලකුණු හා තවත් සාක්ෂි සොයා ගෙන ඇති අතර ඒ ඔස්සේ විමර්ෂන කටයුතු දියත් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් සැකකරු පොලිස් රැහැනට කොටුකර ගෙන තිබේ.

අධිකරණය ඉදිරියේදී සැකකරු විසින් සිය වරද පාපොච්චාරණය කර ඇති අතර මියගිය කාන්තාව සමඟ ඔහු අනියම් ඇසුරක් පවත්වා ගෙනගොස් ඇති බවත් අනාවරණය වී තිබේ.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS