ශ්‍රී ලාංකිකයෝ ක්‍රිස්මස් දූපතට



නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් විසි දෙනෙකු ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් එරටට අයත් ක්‍රිස්මස් දූපත වෙත යවා තිබේ.

මොවුන් 23 දවස ඇතුළත යළි මෙරටට පිටුවහල් කිරීමට කටයුතු කරන බව ද ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කර තිබෙන අතර විශේෂයෙන් වෙන් කරවා ගත් ගුවන්යානයක් හරහා එම පිරිස නැවත දිවයිනට හරවා යවන බවද ‘‘ ද ඕස්ට්‍රේලියන් “ වෙබ් අඩවිය සදහන් කරයි.

පසුගිය ඉරිදා දිනයේ මෙම පිරිස ඕස්ට්‍රේලියානු දේශ සීමාවේ දී ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපත වෙත යවා ඇති බවද එම වෙබ් අඩවි වාර්තා වේ වැඩිදුරටත් සදහන් වේ.

පසුගිය මැයි මාසයෙන් පසුව මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට සරණාගතයින් ඇතුළු වීමට උත්සාහ කළ තෙවන අවස්ථාව මෙය ලෙස වාර්තා වෙයි.

නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වන කිසිදු පුද්ගලයෙකු ඕස්ට්‍රේලියාවේ රදවා නොගන්නා බවත් ඔවුන් කඩිනමින් පිටුවහල් කිරීමට පියවර ගන්නා බවත් ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කර තිබේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS