ශ්‍රී ලාංකිකයන් 32ක් අයි. එස්. සංවිධානයට එකතු වෙලා - අධිකරණ ඇමැති කියයි



ශ්‍රී ලංකාවේ පවුල් 4ට අයත් පුද්ගලයින් 32ක් සිරියාව බලා ගොස් අයි.එස් හෙවත් ඉස්ලාමීය රාජ්‍යත්‍රස්ත සංවිධානයට එකතුවී ඇති බවට තොරතුරු ඇතැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ඔවුන් සියලු දෙනා සාමාන්‍යයෙන් 'උගත් සහ වැදගත්' ලෙසින් සමාජයේ සම්මත පවුල්වල සාමාජිකයන් බවත් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.


ඉකුත්දා (18)පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. රටේ ආගම්වාදී අන්තවාදී ක්‍රියාකාරකම්වලට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ජාත්‍යන්තරය කුමන දෙයක් ප්‍රකාශ කරත් ,අවශ්‍ය වුවහොත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යළි ක්‍රියාත්මක කරන බවද හෙතෙම කීය

අයි .එස් සංවිධානය කෙරෙහි ජනතාව තුල  විශාල බියක් මේ අවස්ථාවේදී රටතුළ පවතිනවා. ඇතැම් වෙබ් අඩවි හරහා අසත්‍ය ප්‍රචාර හා අන්තවාදී ප්‍රකාශ නිකුත්වන බවත්,ඒවායින් ජනයා නොමග යන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම මුස්ලිම් ජාත්‍යන්තර පාසල්වලට දේශන පැවැත්වීම පිණිස සංචාරක වීසා ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන ඇතැම් පුද්ගලයන් කුරුණෑගල, කල්මුනේ, බේරුවල, කල්එලිය වැනි ප්‍රදේශවල මුස්ලිම් දරුවන්ගේ 'මනස විකෘති කරන බව' හෙළි වී ඇතැයිද අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසීය. තව්ෆික් ජමාත් ,ජමාතේ ඉස්ලාම් ,තබ්ලික් විධාද් ,සුන්නත්වල් ජබාද් යන නම් වලින් යුතු නිකායන් හතරක් ලංකාව තුළ ඔවුනොවුන් ගහමරා ගනිමින් සිටිනවා.මේ සම්බන්ධ සිදුවීම් 15 ක් වාර්තා වී තිබෙන බවත් ,ඔවුන්ගේ මේ අභ්‍යන්තර අරගල ,රටේ අරගලයක් බවට පත් කර රට අරාජික කරලීමට ඉඩ නොතබන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

විදේශ බුද්ධි අංශ කිහිපයක් කලෙක සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බව පවසන අධිකරණ අමාත්‍යවරයා, මෑතක සිට ඔවුන් 'වැඩි වේගයකින්' සිය කටයුතු පවත්වාගෙන යන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

(තිළිණි ද සිල්වා , සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු )


RECOMMEND POSTS