ශ්‍රී ලංකාවට ආවේණික වෙරළු විශේෂ 3 ක්



ශ්‍රී ලංකාවට ආවේණික වෙරළු උප විශේෂ 3ක් නාමකරණය කිරීමට පසුගියදා කටයුතු යෙදුණි. Elaeocarpus hedyosmus Zmarzty ශ්‍රී ලංකාවට ආවේණික එක් වෙරළු විශේෂයකි. මෙම වෙරළු විශේෂයේ  විවිධත්වයක් අනාවරණය කර ඇත. මෙම ශාකය මුල් වරට විස්තර කර තිබුණේ (Sue Zmarzty , 2001) උද්භිද ශාකාගාරයේ නිදර්ශ පදනම්වය.

ඉන් අනතුරුව 2019 -2023 වර්ෂවලදී කරන ලද ක්ෂේත්‍ර කටයුතු හා අණුක ජීව විද්‍යාත්මක පර්යේෂණාගාර අධ්‍යයනවලින්ද, ශාකාගාර නිදර්ශන අධ්‍යයනයෙන්ද, මෙම විශේෂයේ පවතින රූපමය වෙනස්කම් හා ජාන විශ්ලේෂණ උපයෝගි කර ගනිමින් මෙම උප විශේෂ තුන හඳුනා ගැනු ලැබීය.

මෙම උප විශේෂ හඳුනාගැනුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, විද්‍යා පීඨයේ, උද්භිද විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දිප්ති යකන්දාවල, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ, කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල යකන්දාවල, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ උපාධි අපේක්ෂිකා නිලංකා සිල්වා සහ එම විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදි උපාධිධාරි ශාමිලා දසනායක යන පිරිස සිදු කළ පර්යේෂණයකදීය.

Elaeocarpus hedyosmus subsp.hedyosmus, Elaeocarpus hedyosmus subsp. subobscurus සහ Elaeocarpus hedyosmus subsp. grandidomatiatus ආදී වශයෙන් මෙම වෙරළු විශේෂයේ උප විශේෂ 3 නාමකරණය කර ඇත.

මෙම සොයා ගැනීමට අදාළ පර්යේෂණ පත්‍රිකාවේ Elaeocarpus hedyosmus Zmarzty  ශාකයේ උප විශේෂ ගැන නිල වශයෙන් විස්තර කර ඇති අතර, ඒවාට අදාළ විශේෂාංග සහ රූප ඇතුළත් වේ. එම විශේෂ ව්‍යාපෘතිය හා අන්තර්ජාතික රතු දත්ත වර්ගීකරණයට (IUCN) අනුව ඒවායේ සංරක්ෂණ තත්ත්වයද විශ්ලේෂණය කර තිබේ. පර්යේෂණ කටයුතු සඳහා ජාතික විද්‍යා පදනමෙන් (National Science Foundation) මුල්‍යමය දායකත්වය හිමිවී ඇත.

තක්ෂලී හපුආරච්චි


RECOMMEND POSTS