වීසා මාර්ගෝපදේශ උල්ලංඝනය කරලා
ඊශ්‍රායලය, ඉන්දියාව, රුසියාව සහ යුක්රේනය වැනි රටවලින් පැමිණෙන විදේශිකයන් වැඩි පිරිසක්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති වීසා මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ව්‍යාපාර කටයුතුවල සහ රැකියාවල නිරත වන බව වාර්තා වේ.
සංචාරක අමාත්‍යාංශයේ නිලධාරියකු ‘ඩේලි මිරර්’ පුවත්පතට පවසා ඇත්තේ, සංචාරක, ආයෝජන හෝ ආගන්තුක සත්කාර කර්මාන්තයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට වීසා නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු දැඩි නීතිරීති මාලාවක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් පනවා ඇති නමුත්, එම නීති මඟ හැර වීසා මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීමට ඇතැම් විදේශිකයන් සමත් වී සිටින බවය.
වීසා නිර්දේශ කිරීම සිදුවන්නේ, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මඟින් සූපවේදීන්, කළමනාකරුවන් සහ චිකිත්සකයන් වැනි කාණ්ඩවලට අයත් විදේශිකයන්ට, ආගන්තුක සත්කාර කර්මාන්තයේ සේවය කිරීම සඳහා යැයි ද එම නිලධාරියා පැහැදිලි කර ඇත.
‘ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිර්දේශය මත ආගමන විගමන බලධාරීන් එම විදේශිකයන්ට ඔවුන්ට පදිංචි වීසා බලපත්‍ර ලබා දෙනවා. ප්‍රමිතියකට යටත්ව හෝටල් සහ ආපනශාලා සඳහා පමණයි විදේශිකයන් සේවයේ යෙදවීමට අවසර දෙන්නේ. එසේ වුවත්, කුඩා ආපනශාලාවල පවා විදේශිකයන් රැකියාවල නිරත වන බව දැනගන්න ලැබී තිබෙනවා. ඔවුන්ගේ සේවා යෝජකයන්, මීට පෙර මෙරටට පැමිණි හොඳින් ස්ථාපිත වී සිටින විදේශිකයන්. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මාර්ගෝපදේශ මඟහරිමින් දූෂිත ආගමන විගමන බලධාරීන් මාර්ගයෙන් ඔවුන් අදාළ වීසා ලබා ගැනීමක් කරන බව අපට දැනගන්න ලැබී තිබෙනවා’ යැයි නම සඳහන් කිරීමට අකමැති වූ එම නිලධාරියා අනාවරණය කර ඇත.
‘කිසියම් විදේශිකයකුට, අදාළ කර්මාන්තයක ආයෝජනය කිරීමට අවශ්‍ය නම්, සංචාරක සංවර්ධන බද්ද ගෙවීම, අනෙකුත් මාර්ගෝපදේශ සපුරාලීම සහ ජාත්‍යන්තර පදිංචි ගිණුමේ ඊට අදාළ තැන්පතුව පවත්වාගෙන යෑම කළ යුතු වෙනවා. ’ යැයි ද එම නිලධාරියා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් විමසූ විට, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටියේ වීසා රෙගුලාසි උල්ලංඝනය කරන විදේශිකයන් පිටුවහල් කිරීමට පියවර ගන්නා බවත්, දැනට පවතින නීති දැඩි කිරීමට කඩිනමින් බලාපොරොත්තු වන බවත්ය.