විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්



විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා  විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි රජය පවසයි.

මෙවැනි විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙන් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට අමාත්‍ය මණ්ඩලය ඉකුත් සතියේ සිය අනුමැතිය ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිලධාරියෙකු පැවසීය.

මෙරට විගමනික ශ්‍රමිකයින් සදහා වන යෝජිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමටත් ,ඒ සදහා වන නීති කෙටුම්පත කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

එසේම යෝග්‍ය පරිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කිරීමටත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවද  අමාත්‍ය මණ්ඩලය විසින් ඉකුත් සතියේදී අනුමත කරනු ලැබ ඇත.

මීට පෙර 2015 වර්ෂයේදී විදේශගතව සේවය කරනු ලබන ලාංකික  ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් යෝජනා කිරීම පිණිස අදාළ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර තිබිණි. ඒ අනුව, එම කමිටුව විසින් මෙම 'විගමනික ශ්‍රමිකයන් සඳහා වන යෝජිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය' ක්‍රියාත්මක කිරීමට යෝජනා ඉදිරිපත් කරනු ලැබීය.

මේවන විට ලාංකිකයින් දස ලක්ෂයකට වැඩි පිරිසක් මැද පෙරදිග රටවල් ඇතුලු ලොව පුරා රටවල් රැසක ශ්‍රමිකයින් ලෙස සේවය කරන අතර සෞදි අරාබිය ,කුවේටය,කටාර්,එක්සත් අරාබි එමීර් රාජ්‍යය ,ඕමානය ,බහරේනය ,ජෝර්දානය යන රටවල මෙම ශ්‍රමික සංඛ්‍යාෙවන සියයට 86ක ප්‍රමාණයක් කම්කරු වෘත්තිය ඇතුළු වෙනත් විවිධ වෘත්තීන්හි  නිරත වෙති.

 

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS