විදෙස් සංචාරකයන්ට අනතුරක් වෙන්න දෙන්නේ නෑ
ශ්‍රී ලංකාවේ ජාතික උරුම ඇතුළු සංස්කෘතික උරුම නැරැඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සෞඛ්‍ය උවදුරුවලින් ආරක්ෂා කරගැනීම සඳහා අනාගතයේදී දියුණු තාක්ෂණික ක්‍රමවේද අවශ්‍ය වන බවත් ඒ සඳහා විශේෂඥ තාක්ෂණික උපදෙස් ඇතුළු ජාත්‍යන්තර සහාය අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (22) ප්‍රකාශ කළේය.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගත තත්ත්වයෙන් සංස්කෘතික ක්ෂේත්රයට සිදුවන බලපෑම් අවම කරගැනීම සම්බන්ධයෙන් යුනෙස්කෝ (එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය) සංවිධානයට අයත් රටවල් සංස්කෘතික අමාත්‍යවරුන් අතර අන්තර්ජාලය ඔස්සේ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
‘කොවිඩ්-19’ ගෝලීය වංසගතයෙන් මෙරට සංස්කෘතික ක්ෂේත්රයට සිදුවන බලපෑම් අවම කරගැනීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යුනෙස්කෝ සංවිධානයේ සාමාජික රටවල සංස්කෘතික අමාත්‍යවරුන් දැනුවත් කළේය.
සංස්කෘතික ක්ෂේත්රය වෙත ‘කොවිඩ්-19’ වසංගතයෙන් වන බලපෑම අඩු කිරීම සඳහා යොදාගන්නා උපායමාර්ග සහ සංස්කෘතික ක්ෂේත්රය නඟ සිටුවීම සඳහා කලීපය මට්ටමින් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කෙරුණි.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීය..
‘‘මෙම අභියෝගාත්මක අවස්ථාවේදී ඔබ හා සමඟ එක්වීම පිළිබඳව මා සතුටුවනවා. මෙම සාකච්ඡාවට කේන්ද්‍ර වී තිබෙන්නේ සංස්කෘතික ක්ෂේත්රයයි. ශ්‍රී ලංකාව මුහුණ දෙන තත්ත්වය පිළිබඳව කෙටියෙන් සඳහන් කිරීමට මා කැමතියි.
ශ්‍රී ලංකාවට වසර2500ක ලිඛිත ඉතිහාසයක් ඇති බව ඔබ දන්නවා ඇති. ඒ හේතුවෙන්, රටට සැලකිය යුතු ආදායමක් ලබාදෙන සංචාරක ක්ෂේත්රය වැඩි දියුණු කිරීම සඳහා සංස්කෘතික ක්ෂේත්රයේ සහාය අපි දැඩිව බලාපොරොත්තු වනවා. 2018 වසරේ සංචාරක ක්ෂේත්රය ලබාගත් ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ඉක්මවා ගියා. අවාසනාවකට, පසුගිය 2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරය නිසාත් දැන් ඇති වී තිබෙන කොවිඩ්-19 වසංගතය නිසාත් අපට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා.
කොරෝනා වයිරසය පැතිරයාම වැළක්වීම සඳහා ගුවන්තොටුපොළේ සිට රටට පැමිණීම රජය විසින් නවතා දමා තිබෙනවා. අනතුරුව, සංචාරක ක්ෂේත්‍රයත්, සංස්කෘතික ක්ෂේත්‍රයත් මුළුමනින්ම අකර්මන්‍ය වී තිබෙනවා. ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ වූ විගස දැඩි සෞඛ්‍ය හා ආරක්ෂණ යාන්ත්‍රණ සහිතව, අපගේ සංස්කෘතික හා ස්වභාවික උරුම සඳහා සංචාරක කටයුතු ආරම්භ කිරීමට, අපි බලාපොරොත්තු වෙනවා. සංස්කෘතික සංචාරක කටයුතු, නිර්මාණාත්මක කර්මාන්ත, විවේක ආශ්රිත කර්මාන්ත සහ සංස්කෘතික හා ස්වභාවික වස්තූන් ආශ්‍රිතව යැපෙන දහස් ගණන් ජනයාගේ ජීවනෝපාය නැවත ස්ථාපිත කිරීමට මේ තුළින් අපට හැකිවෙනවා. කෙසේ වෙතත්, සංස්කෘතික ආයතන, වස්තූන් හෝ ස්ථාන නැවත ආරම්භ කෙරෙන්නේ බහුවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පවත්වන ලද පුර්ණ ඇඟයීමකට පසුවයි.
කොවිඩ්-19ඛේදවාචකයට පෙර, ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ස්වභාවික උරුම සංචාර ක්ෂේත්රය තිරසර ව්‍යාපාරයක් වූවා. එය එසේ වෙතත්, නුදුරු අනාගතයේදී මේ සඳහා ජාතික අයවැය තුළින් රජයේ ආධාර අවශ්‍ය වෙනවා. උරුම ස්ථාන වෙත පැමිණෙන සංචාරකයන් හා ආශ්රිත ප්‍රජාවන් සෞඛ්‍ය උවදුරුවලින් ආරක්ෂා කරගැනීම සඳහා, දියුණු තාක්ෂණික ක්‍රමවේද නිපදවීම පිණිස විශේෂඥ තාක්ෂණික උපදෙස් වශයෙන් ජාත්‍යන්තර ආධාර ද, අනාගතයේ දී ශ්‍රී ලංකාවට අවශ්‍ය විය හැකියි.
වත්මන් ඛේදවාචකයට සමාන හදිසි අවස්ථාවලදී ඇතිවන අභියෝගවලට මුහුණ දීමට සහ වඩා කාර්යක්ෂම සම්බන්ධීකරණයකින් වෙනත් රටවල් හා සමඟ සම්බන්ධ වී එක්ව ක්‍රියාකිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙනවා. තහංචි පනවා ඇති මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ අලංකාර සංස්කෘතික හා උරුම ස්ථාන ලොව පුරා ජනතාවට අත්දැකීමට අවස්ථාව ලබාදීම පිණිස යුනෙස්කෝ වැනි ආයතන හා සමඟ එක්ව සොයා බැලීමට අපි කැමැතියි. මෙම අභියෝගාත්මක වකවානුව එක්ව ජයගැනීම සඳහා අප සැමගේ සාමුහික හා විවිධ සංස්කෘතික උරුමයන් උපකාරී වෙතැයි මා විශ්වාස කරනවා’’.
හර්ෂණ තුෂාර සිල්වා

