විදෙස් ඇමැති තානාපතිවරුන් හමුවෙයි



ජල ගැලීම් සහ නායයාම් හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයන්ට සහන සැළසීමේ කටයුතු වෙනුවෙන් මේ වනවිට ලෝකයේ රටවල් 24කින් සහනාධාර හා මූල්‍යාධාර  ලැබී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා ඊයේ (31) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවසීය.

ස්වාභාවික විපත් සම්බන්ධයෙන් රටම ආවරණය වන පරිදි රක්ෂණය කර තිබීම හේතුවෙන් මේ දිනවල ආපදා තත්ත්වයෙන් හානියට පත් ජීවිත සහ දේපළ සඳහා වන්දි ගෙවීමේ දී බදු ගෙවන ජනතාවගේ මුදල් අනවශ්‍ය ආකාරයට යෙදවීමේ අවශ්‍යතාවක් නැතැයිද අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටී.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ මෙරට සිටින විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (31) පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවෙන් පසුව  මාධ්‍ය වෙත කරුණු දක්වමිනි.

රටේ වත්මන් තත්ත්වය සහ රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී රාජ්‍යතාන්ත්‍රිකයන් දැනුවත් කරන ලද අතර ඇමෙරිකාව , බ්‍රිතාන්‍ය , ජපානය, මැදෙපරදිග රටවල්  ඇතුළු මෙරට සිටින විදේශීය රටවල තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ කොන්සල් ජනරාල්වරුන් 134 දෙනෙක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ  පසුගිය 2016 අයවැයට අනුව ස්වාභාවික විපත් සම්බන්ධයෙන් රටම ආවරණය වන පරිදි රක්ෂණය කර තිබෙන බවද පෙන්වාදෙන දුන් විදේශ අමාත්‍යවරයා හදිසි ආපදාවක දී ජීවිතක්ෂයට පත්වන අයෙකුට රුපියල් ලක්ෂයක ජීවිත රක්ෂණ වන්දි මුදලක් ද දේපොළෙ හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක උපරිමයකට යටත්ව වන්දි මුදලක් ද මේ රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ගෙවනු ලැබේ.

එහිදී අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේද කීය

‘‘අද දවසේ මේ රටේ සිටින සියලු රාජ්‍යතාන්ත්‍රිකයන් හමුවී අතිශය වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළා.නව තනතුරු හරහා කටයුතු කරන ආකාරය, අමාත්‍යාංශයේ ඉදිරි ක්‍රියාමාර්ග, ආපදා තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයන්ට සහන සැළසීමේ වැඩපිළිවෙල ආදිය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරනු ලැබුවා.

විදේශ අමාත්‍යාංශයට පැමිණි රාජ්‍යතාන්ත්‍රිකයන් ඊට උණුසුම් ප්‍රතිචාරයක් අපේ රජයට  ලබාදී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ප්‍රමුඛ රජයට ඒ ඒ රටවල පූර්ණ සහාය ලබාදෙන බවට ප්‍රතිඥා දුන් අතරම ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තරය සම්බන්ධවන ආකාරය සහ ඉදිරි සැළසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙලෙස මාසිකව රැස්වීමටත් අපි තීරණය කරනු ලැබුවා.

ඉකුත් වසරේ අයවැය මඟින් ස්වාභාවික විපතක් වෙනුවෙන් වන්දි ලබාදීම සඳහා සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි රක්ෂණය කර තිබෙන බවද ඒ අනුව සුනාමි, ගංවතුර, නායයෑම්, අකුණු අනතුරු සහ භූමිකම්පා ඇතුළු ස්වාභාවික ආපදාවලින් මහජනතාවගේ ජීවිත හා දේපොලවලට සිදුවන හානි පූර්ණය කිරීම සඳහා රුපියල් කෝටි 1,500 ක් රක්ෂණය කරනු ලැබුවා. මීට මාස හයකට පමණ පෙර ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රුපියල් කෝටි 1,300 ක පමණ රජය වන්දි පිරිනැමූ බවද අමාත්‍යවරයා කීය.

 

( තිළිණි ද සිල්වා )
 

 


RECOMMEND POSTS