වැඩිම පැමිණිලි තිබෙන රැකියා නියෝජිතායතන බලපත් අවලංගු කරනවා
විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල කියයි
විනීතා එම් ගමගේ
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිතායතන අතරින් ඉකුත් වසර දෙක ඇතළත වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී තිබූ නියෝජිතායතනවල බලපත්‍රය අවලංගු කිරීමට තිරණය කළ බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කළාය.
රැකියා නියා්ජිතායතන ගණනක් ලියාපදිංචි කර ගැනීම අවශ්‍ය නොවන බවත් හොඳ නියෝජිතායතන 500ක් 600 ක් තිබීම හොඳටම ප්‍රමාණවත් බවත් අමාත්‍යවරිය කියා සිටියාය.
කබල් මේස පුටු තියාගත්ත නියෝජිතායතන පිටරට වගේම මේ රටේත් ඇති බවත් බොරුවට බෝඩ් කෑල්ලක් ගහගත් පළියට හෝ පෙට්ටි කඩයක් දා ගත් පළියට හතු පිපෙන්නාක් මෙන් නියෝජිතායතන අරින්න අවසර දිය නොහැකි යැයි ඇය තව දුරටත් කියා සිටියාය.
විදේශ රැකියා සැපයීම ගෞරවාන්විතව කරන ඒජන්සිත් ඇතැයි කී අමාත්‍යවරිය වැරදි කරන අය නිසා ඔවුන්ද ප්‍රශ්න වලට මුහුණ පාන්නේ යැයි කීවාය.
ලියාපදිංචි විදේශ රැකියා ආයතන 3000ක් පමණ ඇතැයි කී ඇය එක් අයෙක් කරන වරදකින් හැමදෙනාටම හොරු යැයි ලේබල් වදින්නේ යැයි ද කීවාය.
අමාත්‍යතුමිය මේ බව සඳහන් කළේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනයන්හි නියෝජිතයින් සමඟ පසුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී තව දුරටත් අදහස් දැක්වු අතුකෝරල මහත්මිය මෙසේ ද කීවාය.
“මොන රටට සේවකයෝ ඇරියත් මට අවශ්‍ය රැකියා නියෝජිතායතන හා ඒවගේ හිමිකරුවෝ, සේවකයො ගෞරවාන්විත රැකියාවක නිරත වෙන අය බවට පත් කරන්න. කාට හරි ඒක ගැටළුවක් නම් නඩුදාන්න පුළුවන්. දැන් අපි කොමිස් මුදල් ගන්න එකත් තහනම් කරලා තියෙනවා. කවුරුහරි කොමිස් මුදල් අරන් තිබුණොත් බලාගන්න පුළුවන් පැමිණිලි විභාග කරන්න ආවම. අපි උප ඒජන්තවරුන් තහනම් කළා.
ගම්වල තවමත් කට්ටියව හොයාගෙන යනවා. හැබැයි අපිට අහුවුණොත් අත්අඩංගුවට ගන්නවා. ඉදිරියේදී උප ඒජන්තවරු යොදවන ඒජන්සි ආයතනත් අපි තහනම් කරනවා. මතක තියාගන්න මේක කරන්නේ ලංකාවේ ගෘහ සේවිකාවන්ට, පුහුණු ශ්‍රමිකයින්ට වටිනාකමක් ලබාදෙන්න” යනුවෙන්ද සඳහන් කළාය.