ව්‍යාජ ඉන්දියානු ගමන් බලපත්වලින් ශ්‍රීලාංකික කතුන් රට යවලා





ඉන්දියානු ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස සකසා ශ්‍රී ලාංකික කාන්තාවන් සංචාරක වීසා මත මැද පෙරදිග රටවලට යැවීමේ ජාවාරමක මොළකරුවන් හෙළිකර ගැනිමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරින් සමත්ව ඇත.
   ඉන්දියානු ගුවන් ගමන් බලපත්‍ර හිමි කාන්තාවන් හයදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොලළන් සංචාරක වීසා මත ඩුබායි රටට යෑමට පැමිණි අවස්ථාවේ මොවුන් පිළිබඳව සැක සිතූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොල ඒකකයේ නිළධාරීන් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම වංචාව හෙළි කරගෙන ඇත.
ඔවුන් පරීක්‍ෂා කිරීමේදී එම කාන්තාවන් සතුව ඉන්දීය රජය මඟින් නිකුත් කරන ලද ගමන් බලපත්‍ර 6ක් තිබී ඇති අතර, ඒවායේ ඇතුළත් කර ඇත්තේ ශ්‍රී ලාංකිය කාන්තාවන් 6 දෙනෙකුගේ තොරතුරු වේ.
මීට අමතරව මොවුන් සතුව ශ්‍රී ලංකා රජය මඟින් නිකුත් කරන ගමන් බලපත්‍ර 6ක්ද තිබූ බවත් මෙම සැකකාරියන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ ඉන්දියානු ගමන් බලපත්‍ර, කාර්යාංශය මඟින් සිදුකෙරෙන පරීක්‍ෂා කිරීම්වලින් නිදහස්වීමට උපයෝගි කරගත් බව යැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියෙක් මැද ලංකාදීප වෙබ් අඩවියට පැවැසීය.
මීට අමතරව මෙම කාන්තාවන් විසින් මෙම ජාවාරම කරගෙන යන අය පිළිබඳ තොරතුරු හෙළි කර ඇති අතර, ඉදිරි පරීක්‍ෂණ කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත. මෙම ජාවාරම කලක සිට කරගෙන යන ජාවාරමක් බවට තොරතුරු හෙළි වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
මෙම කාන්තාවන් අතරට සිංහල කාන්තාවන් තිදෙනෙකු හා ද්‍රවිඩ කාන්තාවන් තිදෙනෙකු අයත් වේ. ඔවුන් නුවරඑළිය, ඉබ්බාගමුව, බොරළුවාව, දංකොටුව, මූතූර්, චෙන්කලාඩි යන ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.
කාර්යාංශ ගුවන්තොටුපොල ඒකකයේ මෙම පරීක්‍ෂණ කටයුතු සිදුකල නිළධාරීන් විසින් මේ සම්බන්ධයෙන් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය දැනුවත් කරන ලදී. මෙම ජාවාරම මෙහෙයවූ ප්‍රධාන මොළකරුවන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු ආරම්භ කරන ලෙසත්, කාර්යාංශ නිළධාරීන් මෙම ජාවාරමට සහය දක්වා ඇත්නම් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙෂත් එහිදී අමාත්‍යවරිය උපදෙස් දුන් බව ද එම නිලධාරියා කීය.

(විනීතා එම්. ගමගේ)


RECOMMEND POSTS