ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි



ශ්‍රී ලංකාවේ ඇත්තේ ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවත් එබැවින් ව්‍යවස්ථා සංශෝධනයක් නොකර ෆෙඩරල් ආකාරයේ බලය බෙදීමක් කළ නොහැකි බවත් ඉන්දියාවේ හිටපු කැබිනට් අමාත්‍යවරයකු මෙන්ම රාජ්‍ය සභා මන්ත්‍රීවරයකු ද වන සුබ්‍රමනියම් ස්වාමි පවසයි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතරේ විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සමුළුවෙන් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හෙතෙම ඒ බව සඳහන් කරයි.

දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවශ්‍යව ඇත්තේ දෙමළ ජනතාවගෙන් සමහරකුට පමණක් යැයි ද ඔහු සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.

සුබ්‍රමනියම් ස්වාමි මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වෙයි.

‘‘ශ්‍රී ලංකාවේ ඇත්තේ ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නොකර ෆෙඩරල් ආකාරයේ බලය බෙදීමක් කරන්න බැහැ. ඒ වගේමය 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය කර ඇත්තේ දෙමළ ජනතාවගෙන් කොටසකට පමණයි. ගොඩදෙනකුට අවශ්‍ය කර ඇත්තේ රැකියා. දකුණේ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සිංහල ජනතාව සමඟ ඉන්නවා. ඒ වගේම ඔවුන් රාජපක්ෂ කැබිනෙට්ටුවේ කොටස්කරුවන්’’ යැයි එහි දැක්විණි.

ශ්‍රී ලංකාවේ සාම සහ සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ අවධාරණය කළේය.

මේ අතර දෙරටේ තරුණ තරුණියන් ක්‍රීඩා සහ නායකත්වය යන අංශ සම්බන්ධ කෙරෙන තරුණ තරුණියන් කේන්ද්‍ර කරගත් වැඩසටහන් ආරම්භ කළ යුතු යැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වෙයි.

‘‘සිය පළමු අන්තර්ජාල/විඩියෝ සමුළුව සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් මම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් ප්‍රශංසා කරනවා. දෙරටේ තරුණ තරුණියන් අතර ආගමික වටිනාකම් ස්ථාපිත කරමින් දෙරට අතර පවතින ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කළ හැකි මම බලාපොරොත්තු වෙනවා’’. 

 හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS