වස විෂ නැති සුප් කැටේ

සිරුරට අහිතකර කෘත්‍රිම රසකාරක අඩංගු නොවන සුප් කැටයක් නිර්මාණය කිරීමට වයඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති. මේ සුප් කැටය නිර්මාණය කර ඇත්තේ හතු නැතිනම් බිම්මල්වලින් වීම ද විශේෂත්වයකි.
මෙම සුප් කැටයෙහි කිසිදු කෘත්‍රිම රසකාරක හෝ වර්ණකාරක අඩංගු නොවන අතර දේශීය කුළුබඩුවලින් සහ ස්වාභාවික රසකාරක මගින් රස ගන්වා ඇත.
වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විශ්වජිත් කන්දේගම මහතාගේ මගපෙන්වීම යටතේ පසු අස්වනු කළමනාකරණ අධ්‍යයන අංශයේ අවසන් වසර සිසුවියක වන හර්ෂනී මධුවන්ති විසින් මෙම සුප් කැටය නිපදවීම සිදු කර ඇත.
එම නිෂ්පාදනය පිළිබඳව ආචාර්ය විශ්වජිත් කන්දේගම මහතා කියා සිටියේ වර්තමානය වන විට රයිස්, කොත්තු ඇතුළු විවිධ කෘත්‍රිම ආහාර සඳහා MSG හෙවත් මොනෝ සෝඩියම් ග්ලූටමේට් (අජිනමොටෝ සන්නාමයෙන් ඇත්තේත් එයයි) නැමැති ආකලන ද්‍රව්‍යය භාවිත කරන බවත් එමගින් රස උද්දීපනයක් සිදුවන බවය.
කෘත්‍රිම ආහාර ගැනීමේදී ආකලන ද්‍රව්‍ය ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා පරිභෝජනයට ගැනීම ශරීරයට අහිතකර තත්ත්ව ඇති කරන අතර එම කෘත්‍රිම ආහාර පිළිකා ඇතුළු විවිධ රෝගාබාධ ඇති කිරීමට ඉවහල් වන බවද ආචාර්ය කන්දේගම මහතා පවසයි.
“මෙම පර්යේෂණයේදී ඔයිස්ටර් බිම්මල් යොදාගෙන තිබෙන අතර එම බිම්මල් ප්‍රෝටීන් බහුල ආහාරයක් වන අතර මස් මාංශවලින් තරම් පෝෂණ ගුණයක් නොලැබුණ ද සිරුරේ ඇති කොලෙස්ටරෝල් විනාශ කිරීමේ හැකියාව මෙම ඔයිස්ටර් බිම්මල්වලට පවතිනවා. ඒ අනුව ඔයිස්ටර් වර්ගයේ බිම්මල් ප්‍රධාන වශයෙන් මෙම සුප්කැටයට යොදා ගෙන ඇති අතර ඒ සඳහා කොත්තමල්ලි, කරඳමුංගු, මාදුරු, කරාබුනැටි, අබ, කුරුඳු ඇතුළු ස්වාභාවික රසකාරක යොදාගෙන මෙම සුප්කැටය නිර්මාණය කර තියෙනවා. ඊට අමතරව කුකුල් මස් සාරය සහ සුදුලූණු සාරය ද මේ සදහා යොදාගෙන තියෙනවා. ඒ අනුව කෘත්‍රිම රසකාරවලට වඩා මෙවැනි සුප් කැටයක් ආහාර සඳහා යෙදීමෙන් මිනිස් සිරුරට ප්‍රති-ඔක්සිකාරක ගුණය, පිළිකා සෛල වැළැක්වීම සහ ප්‍රතිජීවක ගුණයෙන්ද යුක්ත වෙනවා මෙන් ම ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවිය හැකිද වෙනවා.” යැයි ආචාර්ය කන්දේගම මහතා වැඩි දුරටත් පැහැදිලි කරයි.
සටහන - ගයාන් සූරියආරච්චි

