රජයේ ආපදා කළමනාකරණය

ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ගත් කළ, විටින් විට බලයේ සිටි රජයයන් ක්‍රියා කළේ ‘වැහිකාලයට ගෙවල් හදන්න කතා බස් කරන වඳුරන්’ ලෙසය. දශක ගණනාවක් තිස්සේ, ආපදා තත්ත්වයන් හමුවේ, රජයයන් ඊට ප්‍රතිචාර දැක්වීමට කටයුතු යෙදූ ආකාරය පැහැදිලි කිරීමට මෙය හොඳ උපමාවකි.
ආපදා නොමැති විට, එළඹෙන ආපදා තත්ත්වයකට මුහුණ දීම කෙසේ කළ යුතුදැයි ක්‍රමවත් පැහැදිලි යාන්ත්‍රණයක් සකස් කරනවාට වඩා, පැවැති රජයයන් කටයුතු කළේ, ආපදා තත්වයක් නිර්මාණය වූ විට පමණක් විසඳුම් සෙවීමට කලබල වීමය. එනිසා රජයේ මේ දුරදර්ශී නොවීමෙහි ප්‍රතිවිපාක දරා ගැනීමට සිදු වූයේ රටවැසියන්ට ය. ‘දිට්වා’ සුළි කුණාටුව රට ම කලඹමින් මහා විනාශයක් ගෙන එද්දී, මෙම ‘අකාර්යක්ෂමතාව’ යළි යළිත් දෝංකාර දුන්නේය.
ආපදා තත්වයකදී, පාලකයන්ට පමණක් ඇඟිලි දිගු කළ අතීතයට වඩා වෙනස් වූ, විපක්ෂයේ වත්මන් ප්‍රවේශය පැසසුමට ලක්විය යුතුය. පැයට කිලෝමීටර් 65 ක වේගයක් සමඟින් හමා ගිය ‘දිට්වා’ සුළි කුණාටුව, ඉකුත් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල මිලිමීටර් 300 ඉක්මවූ අධික වර්ෂාපතනයක් මුදා හැරියේය. නායයෑම් සහ ජල ගැලීම් හටගත්තේ ජීවිත රැසක් බිලි ගනිමිනි. සුළි කුණාටුවකට වඩා, නිවර්තන කුණාටුවක් ලෙස කාලගුණ විද්‍යාඥයන් වර්ගීකරණය කළ මෙම අයහපත් කාලගුණය නිවර්තන කාලගුණ පද්ධති කෙතරම් බලවත්දැයි, අසරණ වූ ජනතාවට සිහිපත් කළේය.
මේ ආකාරයේ, කුණාටු සමකයට ආසන්න උණුසුම් සාගර ජලයට ඉහළින් හටගන්නේ, උණුසුම් වාතය ඉහළට ගමන් කරමින් අඩු පීඩන කලාප නිර්මාණය කරන චක්‍රයක් ඔස්සේය. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 62 ක් වූ විට, එම කාලගුණ පද්ධති නිවර්තන කුණාටුවක් ලෙස වර්ගීකරණය කෙරේ. වේගය පැයට කිලෝමීටර් 120 ක් හෝ ඊට වැඩි වූ විට, ඒවා නිවර්තන සුළි කුණාටු ලෙස හැඳින්වෙයි. ‘දිට්වා’ සමඟ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක දරුණු ජල ගැලීම් සහ නාය යෑම් හටගත්තේය.
ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම නිසා එය ගංවතුර, නායයෑම්, සුළිසුළං, නියඟ, තද සුළං සහ වෙරළ ඛාදනය වැනි ස්වාභාවික විපත්වලට සුවිශේෂී ලෙස ගොදුරු වෙයි. වනාන්තර විනාශය ආදී මානව ක්‍රියාකාරකම් නිසා සිදුවන විපත් මෙම ස්වභාවික උපද්‍රව තවත් උග්‍ර කරයි.
ගංවතුර තත්වයන්ට මුහුණ දීම අරුමයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා ද්‍රෝණි 103 න්, විශේෂයෙන් කැලණි, ගිං, කළු, නිල්වලා සහ මහවැලි යන ප්‍රධාන ගංගා දහයක් පිටාර ගැලීමේ ප්‍රවණතාවක් පෙන්වයි. ජනගහන වර්ධනය හේතුවෙන් ජනතාව ගංවතුරට ගොදුරු විය හැකි පහත් බිම් වෙත සංක්‍රමණය වීම අවදානම තීව්‍ර කර ඇත. නිරිතදිග සහ ඊසානදිග මෝසම් වර්ෂා රටේ විවිධ ප්‍රදේශවලට සෘතුමය ගංවතුර තත්වයන් නිර්මාණය වෙයි. කෑගල්ල, රත්නපුර, කළුතර, කොළඹ, ගම්පහ සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල වැසියන් නිරිතදිග වර්ෂා සමයේදීත්, අම්පාර, ත්‍රිකුණාමලය, බදුල්ල, පොළොන්නරුව, මඩකලපුව, මාතලේ සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල වැසියන් ඊසානදිග සමයේදී පීඩාවට පත් වෙයි.
කඳුකර ප්‍රදේශවල නායයෑම් දැඩි තර්ජනයක් එල්ල කරයි. 1986 ජනවාරි මාසයේදී සිදු වූ නායයෑම්වලින් ජීවිත 51 ක් අහිමි වූ අතර පවුල් 90 කට ආසන්න ප්‍රමාණයක් අවතැන් විය. 1989 මැයි සහ ජූනි මාසවල අයහපත් කාලගුණයෙන්, පුද්ගලයන් 200 කට අධික සංඛ්‍යාවක් මිය ගිය අතර, සිදුවූ පාඩුව රුපියල් මිලියන 142 ක් ලෙස තක්සේරු කරන ලදී.
බෙංගාල බොක්කේ සුළි සුළං ක්‍රියාකාරිත්වය විශේෂයෙන් නැගෙනහිර, උතුරු සහ උතුරු මැද ප්‍රදේශවලට බලපායි. 1978 සුළිසුළඟින් ජාතියට විශාල හානියක් සිදු වූ අතර, මිලියනයකට අධික ජනතාවකට බලපෑම් එල්ල විය. එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ පොල් වගාවලින් සියයට 90 ක් පමණ විනාශ විය. ආධාර සැපයීමේ කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 600 කට අධික මුදලක් වැය විය.
සෑම වසර තුනකට හෝ හතරකට වරක් ප්‍රදේශීය මට්ටමින් ද දශකයකට පමණ වරක් ජාතික මට්ටමින් ද නියං කාලගුණයක් ද හටගනී. 2001 නියඟය හේතුවෙන් විදුලි සැපයුම් අඩාල වූ අතර දිස්ත්‍රික්ක අටක පවුල් 370,000 කට වැඩි පිරිසකට බලපෑම් එල්ල විය. මේ අතර, වෙරළ ඛාදනය ශ්‍රී ලංකාවේ කිලෝමීටර 1,585 ක වෙරළ තීරයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට තර්ජනයක් වන අතර, ඇතැම් ප්‍රදේශවල වාර්ෂික ඛාදන වේගය මීටර 3.4 සිට 4.5 දක්වා ඉහළ ගොස් ඇත.
2004 දෙසැම්බර් 26 දින සිදු වූ සුනාමි ව්‍යසනය මගින් ශ්‍රී ලංකාවේ ආපදා සූදානමේ පැවති මූලික අඩුපාඩු පැහැදිලිව අනාවරණය විය. මෙවැනි ව්‍යසනයකට රට සූදානමින් සිටියේ නැත. ඊට ප්‍රතිචාර වශයෙන් පාර්ලිමේන්තුව විසින් 2005 පෙබරවාරි 10 වන දින ආපදා පිළිබඳ විශේෂ තේරීම් කාරක සභාවක් ස්ථාපිත කරන ලදී. මහින්ද සමරසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුත්, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 21 දෙනකුගෙන් සමන්විත මෙම කමිටුව, හදිසි අවස්ථා සඳහා සූදානම් වීමේ අසාර්ථකත්වය විමර්ශනය කර සමස්තයක් ලෙස ආවරණය වන නිර්දේශ ඉදිරිපත් කළේය.
කමිටුව යෝජනා කරන ලද වසර පහක ආපදා අවදානම් කළමනාකරණ වැඩසටහනේ පළමු සහ මූලික අංගය වූයේ, ජාතික මට්ටමේ සිට පළාත් මට්ටම දක්වා විහිදෙන ආයතනික රාමුවක් පිහිටුවීමය. ඊට අමතරව, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ UNDP සහයෝගය මත පදනම්ව ක්‍රමානුකූල දත්ත එකතු කිරීමේ සහ බහු-අවදානම් තක්සේරු පද්ධති සංවර්ධනය කිරීමත්, පරිසරය, ජල සම්පත්, විදුලිය, බලශක්තිය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි සියලුම සංවර්ධන ප්‍රතිපත්තිවලට ආපදා අවදානම් කළමනාකරණය ඒකාබද්ධ කිරීමත් අනෙකුත් වැදගත් නිර්දේශ විය.
තවද, ඵලදායී මුල් අනතුරු ඇඟවීමේ පද්ධති සහ ආපදා සූදානම් කිරීමේ සැලසුම් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය. සුනාමිවලට වඩා නිතර ඇතිවන ගංවතුර වැනි ජල-පරිසර විද්‍යාත්මක උපද්‍රවවලට ශ්‍රී ලංකාව ගොදුරු වන බැවින්, මෙහිදී බහු-අවදානම් ප්‍රවේශයක අවශ්‍යතාව ඉස්මතු විය. වැඩිදියුණු කළ අනාවැකි, ඵලදායී සන්නිවේදන පද්ධති, මහජන දැනුවත්භාවය සහ ප්‍රජා මට්ටමේ යටිතල පහසුකම් සමඟ සමපාත විය යුතු බවත්, එමඟින් ජීවිත බේරා ගැනීමේ ක්‍රියාමාර්ග ගැනීමට හැකිවන බවත් කමිටුව පෙන්වා දුන්නේය.
අවසාන වශයෙන්, රජයේ සෑම මට්ටමකම ස්වාභාවික ආපදා අවම කිරීමේ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සහ විශේෂයෙන්ම මහජන යටිතල පහසුකම් ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සංවර්ධන සැලසුම්කරණයට අවදානම් කළමනාකරණය ඒකාබද්ධ කිරීම තවත් ප්‍රධාන යෝජනාවක් විය. ඊට සමගාමීව, යෝජිත ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය විසින් රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා සංවිධාන සමඟ සහයෝගයෙන් ජාතික මහජන අධ්‍යාපන සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කළ යුතු බවට නිර්දේශ විය. මෙම නිර්දේශ මගින් ශ්‍රී ලංකාවේ අනාගත ආපදා කළමනාකරණ උපාය මාර්ග සඳහා ශක්තිමත් මූලික සැලැස්මක් සැපයීම සිදුවෙයි.
ආපදා අවදානම් කළමනාකරණය සඳහා ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර සම්පත් බලමුළු ගැන්වීමේ අවශ්‍යතාව කමිටුව විශේෂයෙන් අවධාරණය කළේය. 2003 මැයි ගංවතුරෙන් පසු, ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද අතර, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් (UNICEF) සංවිධානය විසින් පුනරුත්ථාපන ප්‍රයත්න මෙහෙයවන ලදී. ස්වීඩන් ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිත ආයතනය (SIDA) ප්‍රතිසාධන කටයුතු සඳහා ඩොලර් මිලියන 1.3ක් පමණ ලබා දුන් අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතන 2004 නියඟය අවම කිරීම සඳහා ඩොලර් මිලියන 1.6ක් ලබා දීමට මැදිහත් විය.
UNDP, USAID, අතරමැදි තාක්ෂණ සංවර්ධන සමූහය (ITDG), සහ විවිධ රාජ්‍ය නොවන සංවිධාන (NGO) ඇතුළු ආයතන රැසක් විශේෂඥ දැනුමෙන් හා සම්පත්වලින් දායක විය. UNDP විසින් ආයතනික ධාරිතා ගොඩනැගීමට, ආපදා අවදානම් කළමනාකරණය සංවර්ධන සැලසුම්කරණයට ප්‍රධාන ධාරාවට ගැනීම, අවදානම් තොරතුරු පද්ධති ස්ථාපිත කිරීම සහ පළාත් මට්ටමේ කළමනාකරණය ශක්තිමත් කිරීමට සහාය වීමට කැප විය. මෙම වැඩසටහන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) නායයෑම් අධ්‍යයන අංශය, නිවාස, සැලසුම් සහ ගොඩනැගිලි මධ්‍යස්ථානය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) වැනි පවතින රාජ්‍ය ආයතනවලට අනුපූරකයක් විය.
දශක දෙකකට ආසන්න කාලයකට පෙර මෙවැනි යෝජනා ඉදිරිපත් කර තිබුණද, දිට්වා සුළි කුණාටුවේ බලපෑම මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව හදිසි ප්‍රශ්න මතු කරයි. කමිටුවේ අවසාන අදහස් මගින් අවධාරණය කළේ ක්ෂණික ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බවත්, ආපදා නැවත ඇති විය හැකි බවත්, සමහර විට දැනටමත් පීඩාවට පත් ප්‍රදේශවලදී පවා මෙය සිදුවිය හැකි බවත්ය. සුනාමියෙන් පසු, අම්පාර දිස්ත්‍රික්කයට ඉක්මනින්ම ගංවතුරෙන් පහර වැදීමෙන් මෙම නැවත ඇතිවන තර්ජන පැහැදිලි විය.
අවම වශයෙන් හෝ, ඵලදායී අනතුරු ඇඟවීමේ පද්ධති සහිත හදිසි ප්‍රතිචාර සැලසුම් වහාම සකස් කළ යුතු බව කමිටුව අවධාරණය කළේය. ඊටත් වඩා මූලික වශයෙන්, විපත්ති ඇති වූ විට නිර්මාණය කරන ලද පද්ධති ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වන බව සහතික කිරීම සඳහා මූලික ආදර්ශයන් වෙනස් කළ හැකිද යන්න ඔවුන් ප්‍රශ්න කළේය. අඛණ්ඩව බලයට පත් වූ ආණ්ඩු විසින් ප්‍රතික්‍රියාශීලී අර්බුද කළමනාකරණයේ රටාව දිගටම පවත්වාගෙන යෑමත්, එනම් ‘මහ වැස්සේ ගෙවල් හදන වඳුරන්’ මෙන් කටයුතු කිරීමත් සමඟ මෙම ප්‍රශ්නය තවමත් පිළිතුරු නොලැබූ එකක් ලෙස පවතී.
‘දිට්වා’ කඩා වැදුණු කාලසීමාව, ශ්‍රී ලංකාවේ බිඳෙනසුලු ආර්ථික ප්‍රකෘතියට අභියෝග මතු කරයි. පසුගිය වසරේ ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතා බලයට පත් වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඇප මුදල් පැකේජය යටතේ ක්‍රියාවට නංවා ඇති කප්පාදු පියවර අවසන් කරන බවට පොරොන්දු දෙමිනි. රජය මේ වනවිට IMF ගිවිසුම පවත්වා ගනිමින්ම, ආර්ථික වැඩිදියුණු කිරීම සඳහා විකල්ප මාර්ග සොයයි.
මේ වසරේ, විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ, ආර්ථිකය අවිනිශ්චිත යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කළේය. කෙසේ වෙතත්, මෙම ප්‍රගතිය තවමත් අතිශයින් අවදානම් සහගත වන අතර ණය කළමනාකරණය මත දැඩි ලෙස රඳා පවතී. ‘දිට්වා’ වැනි ආපදා, සංවර්ධනය සඳහා වෙන් කළ සම්පත් හදිසි ප්‍රතිචාර සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොමු කරමින්, මෙම බිඳෙනසුලු ගම්‍යතාව කඩාකප්පල් කිරීමේ තර්ජනයක් එල්ල කරයි.
‘දිට්වා’ සුළි කුණාටුව නිසා ඇති වුණු ආපදා තත්වය, නිරූපණය කරන්නේ ස්වාභාවික අනතුරුවලට ඇති අවදානම තවදුරටත් රටට පැවැත්මේ අභියෝගයක් ලෙස පවතින බවත්, ඒ සඳහා නිරන්තර ජාතික කැපවීමක් අවශ්‍ය බවත්ය. ආපදාවට ඔරොත්තු දීමේ හැකියාවක් ගොඩනැඟීමට නම්, වැඩිදියුණු කළ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ හදිසි ප්‍රතිචාර හැකියාවන් අවශ්‍ය වන අතරම, ආපදා බලපෑම් වැඩි කරන සාධක වන, වනාන්තර විනාශය, නුසුදුසු ඉඩම් භාවිතය, ප්‍රමාණවත් නොවන යටිතල පහසුකම් සහ දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීම ආදිය පිළිබඳව අවධානය යොමු කළ යුතුය.
කේ.කේ.එස්. පෙරේරා
Ditwah’s Fury Exposes යනුවෙන්
DailyMirror පුවත්පතේ
පළවුණු ලිපිය ඇසුරිනි

