මැතිවරණ භීතිකාව



ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල්යෑම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට සහ ජනතා නියෝජනයට බරපතල තර්ජනයක් වී තිබේ. බලය විමධ්‍යගත කිරීම ප්‍රවර්ධනය කිරීමට සහ ප්‍රාදේශීය මට්ටමින් තීරණ ගැනීමේ ක්‍රියාවලියට ජනතාව සම්බන්ධ කර ගැනීමට පළාත් සභා පිහිටුවීම සිදු කර ඇත. මැතිවරණ දිගින් දිගටම ප්‍රමාද වෙද්දී, මෙම ආයතනවල ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූලභාවය ක්ෂය වී යන අතර, වගවීම ද දුර්වල වී නියෝජිත පාලනය කෙරෙහි ඇති ජනතා විශ්වාසය පළුදු වේ.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට අභියෝග

පළාත් සභා මැතිවරණ කල් දැමීම දේශපාලන, නීතිමය සහ පරිපාලනමය ගැටලු නිර්මාණය කිරීමකි. මෙය අලුත් දෙයක් නොවෙයි. 2017-2018 සිට, ඡන්ද විමසීමේ ක්‍රමවේදයට කරන ලද වෙනස්කම්, සීමා නීර්ණය කිරීමේ ගැටලු, ව්‍යවස්ථාපිත සංශෝධන සහ ඊට අදාළ පරිපාලනමය බාධා හේතුවෙන් මැතිවරණ දිගින් දිගටම කල් දැමිණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, පළාත් සභා කිහිපයක්ම දීර්ඝ කාලයක් තිස්සේ මහජන නියෝජිතයන්ගෙන් තොරව පවත්වාගෙන ගිය අතර, ඒවායේ කටයුතු සඳහා තේරී පත්වුණු මන්ත්‍රීවරුන් වෙනුවට, ආණ්ඩුකාරවරුන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් ඉටු කරනු ලැබීය. මෙලෙස දීර්ඝ කාලයක් මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පළාත් පාලන තන්ත්‍රයක් නොමැති වීම, ප්‍රජාතන්ත්‍රවාදී බලය විමධ්‍යගත කිරීමට සහ පළාත් පාලනය සඳහා වන ජනතා සහභාගීත්වයට එල්ල වූ බාධාවක් ලෙස සිවිල් සංවිධාන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන් සහ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් විවේචනය කර ඇත.

මෙම ගැටලුවේ වැදගත් කරුණ වන්නේ, මෙම ප්‍රමාදයේ වගකීම එකම දේශපාලන පක්ෂයකට හෝ ආණ්ඩුවකට පමණක් පැවරිය නොහැකි වීමය. විවිධ දේශපාලන කණ්ඩායම් නියෝජනය කළ බලයට පත් ආණ්ඩු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය, නීතිමය හෝ ප්‍රායෝගික බාධා හේතු ලෙස දක්වමින් පළාත් සභා මැතිවරණ කල් දැමීය. කෙසේ වෙතත්, මෙම කල්දැමීම පිටුපස දේශපාලන වාසි තකා ගත් තීරණ සහ මැතිවරණ පරාජයන් පිළිබඳ ඇති වූ බිය බලපෑ බවට චෝදනා එල්ල විය. උපහාසාත්මක කරුණ නම්, ආණ්ඩුවේ සිටියදී මැතිවරණ කල්දැමීමට සහාය දුන් හෝ ඊට එකඟ වූ පක්ෂ, විපක්ෂයට පැමිණි පසු වහාම මැතිවරණ පවත්වන ලෙස ඉල්ලා සිටීමය. මෙයින් පෙනී යන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි ඇති ගෞරවයට වඩා, දේශපාලන වාසි තකා ගන්නා තීරණ සඳහා ප්‍රමුඛතාව හිමිවන බවය.

මැතිවර පැවැත්වීමට පෙර මැතිවරණ ප්‍රතිසංස්කරණ, නීතිමය සංශෝධන සහ පරිපාලනමය සූදානම අවශ්‍ය බව ආණ්ඩු විසින් තර්ක කරනු ලැබ ඇත. එවැනි කරුණුවල යම් සාධාරණත්වයක් තිබිය හැකි වුවද, මැතිවරණ දිගින් දිගට කල් දැමීම සාධාරණීකරණය කිරීමට ඒවා යොදාගත නොහැකි බව විවේචකයෝ තර්ක කරති. ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ, ජනතාව විසින් තම නියෝජිතයන්ට ලබා දී ඇති බලතල අලුත් කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදුකරන ප්‍රධාන යාන්ත්‍රණය වන්නේ මැතිවරණයයි. දීර්ඝ කාලීන ප්‍රමාදවීම් මගින් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන දුර්වල වීමේ, මහජන විශ්වාසය පළුදු වීමේ සහ නීතියේ ආධිපත්‍යය කෙරෙහි ඇති ගෞරවය හීන වීමේ අවදානමක් පවතී.

දේශපාලන වශයෙන් අවාසිදායක මොහොතක ඡන්දදායකයන්ට මුහුණ දීමට ඇති බිය දේශපාලන නායකයන් අතර නිතර දක්නට ලැබෙන තත්ත්වයකි. මැතිවරණ භීතිකාව ලෙස හැඳින්විය හැකි මෙම දේශපාලන නොසන්සුන්තාව ප්‍රසිද්ධියේ පිළිගන්නේ කලාතුරකින් වුව ද, ශ්‍රී ලංකාවේ දේශපාලන කරළිය තුළ එය වඩාත් පැහැදිලිව දැකගත හැකිය. භීතිකාවක් යනු සාමාන්‍යයෙන් මඟහැරීමේ හැසිරීම්වලට මග පාදන දැඩි අකමැත්තය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති කාල සීමාවේ ඡන්දදායකයන්ට මුහුණ දීමට දේශපාලන බලධාරීන් දක්වන මැලිබව, එවැනි මඟහැරීමේ දේශපාලන ස්වරූපයක් ලෙස සාධාරණ ලෙස දැකිය හැකිය.

ශ්‍රී ලංකාව අතීතයේදී ද මෙවැනිම ආන්දෝලනාත්මක සිදුවීම්වලට මුහුණ දුන්නේය. 1998 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ පාලන සමයේදී, රජය පළාත් සභා මැතිවරණය මගහැරීමට උත්සාහ කරන බවට චෝදනා එල්ල විය. සබරගමුව, උතුරු මැද, මධ්‍යම, ඌව සහ බස්නාහිර යන පළාත් සභා කිහිපයක ධුර කාලය එම වසරේ අවසන් විය. මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් නාම යෝජනා භාරගෙන 1998 අගෝස්තු 28 වැනිදා ඡන්ද විමසීමේ දිනය ලෙස නියම කළේය. කෙසේ නමුත්, රජය හදිසි නීතිය ප්‍රකාශයට පත් කරමින් නියෝග මාලාවක් හඳුන්වා දුන් අතර, එහි ප්‍රතිඵලය වූයේ නියමිත මැතිවරණය අවලංගු වීමය.

පළාත් සභා මැතිවරණයේ ඉදිරි ගමන

එදා රජයේ ක්‍රියාකලාපයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ගොනු කෙරිණි. 1999 ජනවාරි මාසයේ ප්‍රකාශයට පත් කරන ලද තීන්දුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමේ සහ මැතිවරණය කල් දැමීමේ නීත්‍යානුකූලභාවය පරීක්ෂා කළේය. අගවිනිසුරු ජී.පී.එස්. ද සිල්වා සහ විනිසුරුවරුන්ගේ එකඟතාව සහිතව, මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා මැතිවරණ ක්‍රියාවලිය නිසි ලෙස ආරක්ෂා කිරීමට අපොහොසත් වීම විවේචනයට ලක් කළේය. පළාත් සභා මැතිවරණ පනත මගින් සභාව විසිරුවා හැරීමෙන් පසු කෙටි කාලයක් ඇතුළත මැතිවරණය පැවැත්වීම තහවුරු කිරීමට අපේක්ෂා කළ බවත්, මහජන ආරක්ෂක ආඥාපනත යටතේ මැතිවරණය අවලංගු කිරීම සාධාරණීකරණය කළ නොහැකි බවත් එම තීන්දුව මගින් අවධාරණය කෙරිණි.

තැපැල් ඡන්ද කටයුතු අත්හිටුවීම නීති විරෝධී, අත්තනෝමතික සහ යහපත් චේතනාවෙන් සිදු නොකළ එකක් බව මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා තවදුරටත් තීන්දු කළේය. නීතියට අනුව මැතිවරණ පැවැත්වීමට සහ අනවශ්‍ය බාධා කිරීම් හෝ ප්‍රමාදයන් වැළැක්වීම සඳහා 103 සහ 104 ව්‍යවස්ථාපිත වගන්ති යටතේ මැතිවරණ කොමසාරිස්වරයාට ස්වාධීනත්වය ලබා දී ඇති බව එහිදී අවධාරණය කෙරුණි. හදිසි නීති රෙගුලාසි සම්බන්ධයෙන් මතභේද පැවතියද, නව මැතිවරණ දිනයක් තීරණය කිරීමේ බලය මෙන්ම වගකීම ද කොමසාරිස්වරයා සතුව තිබුණි.

වර්තමාන තත්ත්වය ද මෙවැනිම දේශපාලන අර්බුදයක් පිළිඹිඹු කරයි. අවාසිදායක මොහොතක පවත්වන මැතිවරණයකින් පරාජයට පත්විය හැකි බවට ආණ්ඩු නිතරම බිය වෙයි. ජීවන පිරිවැය ඉහළ යෑම, මහජන අප්‍රසාදය, දූෂණ චෝදනා සහ ජනප්‍රියත්වය පිරිහීම යන කරුණු ඡන්දදායකයන්ට මුහුණ දීම පිළිබඳ නොසන්සුන්තාව වැඩි කිරීමට හේතු විය හැක. එසේ වුවත්, සැක සහිත ක්‍රමවේද හරහා මැතිවරණ කල් දැමීමට දරන උත්සාහයන් මගින් මහජන විශ්වාසය පළුදු වන අතර දීර්ඝ කාලීනව විශාල දේශපාලන බලපෑමක් ඇති කරන බව ඉතිහාසය පෙන්වා දෙයි.

දස රාජ ධර්මයට ඇතුළත් අවිරෝධ නම් බෞද්ධ මූලධර්මය මගින් ජනතා අභිලාෂයන්ට ගරු කිරීම සහ මහජන සුභසාධනයට බාධා වන ක්‍රියාවලින් වැළකී සිටීම අවධාරණය කරයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනතාවගේ කැමැත්ත තීරණය කළ හැක්කේ නිදහස්, සාධාරණ සහ වේලාවට පවත්වන මැතිවරණ හරහා පමණි. එම නිසා මැතිවරණ මඟහැරීමට දරන උත්සාහයන් ප්‍රජාතන්ත්‍රවාදී අගයන්ට පටහැණි වන අතර රජය සහ ජනතාව අතර පවතින සබඳතාව ද දුර්වල කරයි.

ශ්‍රී ලංකාව, ජාතික මැතිවරණ සම්බන්ධයෙන් ද සංවාදවලට මුහුණ දී තිබේ. 1982 දී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රජය මහා මැතිවරණයක් පවත්වනු වෙනුවට පාර්ලිමේන්තුවේ ආයු කාලය දීර්ඝ කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීය. රජයේ පැවති විශාල පාර්ලිමේන්තු බහුතරය රැක ගැනීමට සහ අලුතින් හඳුන්වා දුන් සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මැතිවරණයකට මුහුණ දීමේ අවිනිශ්චිතතාව මඟහරවා ගැනීමට මෙම පියවර ගත් බවට විවේචකයෝ තර්ක කළහ. ආචාර්ය චානක අමරතුංග සහ ආචාර්ය රජීව විජේසිංහ යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් ලිබරල් පක්ෂය, එජාප ය සමග තිබූ සන්ධානයෙන් ඉවත් වූ අතර මෙම කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල වූ තර්ජනයක් ලෙස හඳුන්වා දී ඇත.

පාර්ලිමේන්තුවේ ආයු කාලය දීර්ඝ කිරීම

1975 දී, සිරීමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය යටතේ පැවති සමගි පෙරමුණ රජය, පාර්ලිමේන්තුවේ පැවති සිය බහුතර බලය භාවිතා කරමින් පාර්ලිමේන්තුවේ ආයු කාලය වසර දෙකකින් දීර්ඝ කර ගත්තේය. අවසානයේ 1977 දී මැතිවරණය පැවැත්වූ විට රජය ඓතිහාසික පරාජයකට මුහුණ දුන්නේය. මැතිවරණ කල් දැමීමෙන් තාවකාලික දේශපාලන සහනයක් ලැබිය හැකි වුවද, එය මහජන අප්‍රසාදය තවදුරටත් දැඩි කිරීමටත්, වෙනසක් සඳහා වන ඉල්ලුම වැඩි කිරීමටත් හේතු වන බව මෙම උදාහරණවලින් පැහැදිලි වේ.

පාර්ලිමේන්තු මැතිවරණ මෙන් නොව, ජනමත විචාරණයක් හෝ විශේෂ පාර්ලිමේන්තු බහුතර බලයක් හරහා පළාත් සභා මැතිවරණ අනිශ්චිත කාලයකට කල් දැමීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය යාන්ත්‍රණයක් නොමැත. ප්‍රජාතන්ත්‍රවාදී මූලික අයිතිවාසිකමක් ලෙස සර්වජන ඡන්ද බලයේ ඇති වැදගත්කම ශ්‍රේෂ්ඨාධිකරණය ද පිළිගෙන ඇත. එබැවින් පළාත් සභා මැතිවරණ පැවැත්වීම දීර්ඝ ලෙස ප්‍රමාද කිරීම, ව්‍යවස්ථාපිත පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පිළිබඳ බරපතල ගැටලු මතුවීමට හේතු වෙයි.

පළාත් සභා මැතිවරණයකින් සිදුවන පරාජයක් ඉදිරි ජනාධිපති හෝ පාර්ලිමේන්තු මැතිවරණ සඳහා බලපෑමක් ඇති කළ හැකි නමුත්, මැතිවරණ මඟහැරීම මගින් මහජන අප්‍රසාදය ඉවත් වන්නේ නැත. ඒ වෙනුවට එයින් සිදුවන්නේ විපක්ෂයේ බලවේග ශක්තිමත් වීම සහ රජය කෙරෙහි ඇති අවිශ්වාසය වර්ධනය වීමය. මහජන කැමැත්තට වඩා මඟහැරීමේ පිළිවෙතින් පවත්වාගෙන යන බලය ස්ථාවර හෝ තිරසාර නොවන බව දේශපාලන නායකයින් වටහා ගත යුතුය.

මැතිවරණ භීතිකාවට ඇති වඩාත්ම සාර්ථක විසඳුම වන්නේ ඡන්දදායකයන්ට මුහුණ දීමය. නියමිත වේලාවට පළාත් සභා මැතිවරණ පැවැත්වීම, ජන වරමට ගරු කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට ක්‍රියාත්මක වීමට ඉඩ හැරීම මහජන විශ්වාසය නැවත ඇති කිරීමටත්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ දීර්ඝ කාලීන පැවැත්ම තහවුරු කිරීමටත් අත්‍යවශ්‍ය වේ.

මෙම චක්‍රය බිඳ දැමීම සඳහා ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ වේවා සියලු දේශපාලන පක්ෂවලින් සැබෑ කැපවීමක් අවශ්‍යය. ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූලභාවය නැවත ලබා ගැනීමටත්, පළාත් පාලනය දේශපාලන වාසිවලට වඩා ජනතා කැමැත්ත පිළිඹිඹු කරන බව තහවුරු කිරීමටත් ව්‍යවස්ථාපිත මැතිවරණ කාලසටහන්වලට ගරු කිරීම, පාරදෘශ්‍ය මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ කඩිනමින් පළාත් සභා මැතිවරණ පැවැත්වීම අවශ්‍යය.

කේ.කේ.එස්. පෙරේරා
අගෝස්තු 3 වැනිදා ඩේලි මිරර්
පුවත්පතේ පළ වුණු PC Elections Phobia?
Only Cure, Face It ලිපිය ඇසුරිනි

RECOMMEND POSTS