මහාචාර්ය ජී.එල්. පීරිස් නවතම කෘතිය

රුසියන් යුක්රේන ගැටුම, ඊශ්රායල හමාස් ගැටුම, තායිලන්ත කාම්බෝජ ගැටුම ආදී ගෝලීය අර්බුද සම්බන්ධයෙන් කාගේත් අවධානයක් යොමු වී ඇති මොහොතක, ශ්රී ලංකා රජය සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර පැවති සාම සාකච්ඡා මාලාව පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින්, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් රචනා කරනු ලැබූ ‘The Sri Lanka Peace Process: An Inside View’ (ශ්රී ලංකා සාම ක්රියාවලිය: ඇතුළාන්ත දර්ශනයක්) නමින් සිය නවතම ග්රන්ථය එළිදක්වා ඇත. ඒ විජිත යාපා ප්රකාශනයක් ලෙසය.
දශක තුනක යුද්ධය නිමා කිරීම සඳහා ගත් සාර්ථක වීම සහ එහි දුර්වලතා ද මෙම කෘත්රියෙන් ගැඹුරු ලෙස සාකච්ඡාවට බඳුන් වීම විශේෂත්වයකි. මෙම ග්රන්ථයෙන් ප්රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ 2002 සැප්තැම්බර් 16 වන දින තායිලන්තයේ සටාහිප්හිදී ආරම්භ වූ සාම ක්රියාවලිය පිළිබඳවය.
එදා මුළු ලෝකයේම අවධානය ශ්රී ලංකාව දෙසට යොමුව තිබුණේ දශක ගණනාවක ප්රචණ්ඩත්වයට වඩා සංවාදය මගින් විසඳුම් සෙවිය හැකි බවට වූ බලාපොරොත්තුවෙනි. කෙසේ නමුත්, එම ක්රියාවලිය තුළ තිබූ ව්යුහාත්මක දුර්වලතා, විවිධ පාර්ශවයන්ගේ පරස්පර න්යාය පත්ර සහ දේශපාලනික අස්ථරාත්වය හේතුවෙන් එය අසාර්ථක විය. එම ගමනේ සැලසුම් සහගත බව, ඉන් අත්කරගත් සීමිත ජයග්රහණ සහ අවසානයේ එය අසාර්ථක වීමට බලපෑ තීරණාත්මක සාධක මෙම කෘතිය හරහා සවිස්තරාත්මකව විවරණය කෙරේ.
මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙම අත්දැකීම විස්තර කරන්නේ එම සාකච්ඡා සඳහා රජය වෙනුවෙන් නායකත්වය දුන් පුද්ගලයා ලෙස වීම ද විශේෂත්වයකි. කොළඹ විශ්වවිද්යාලයේ හිටපු උපකුලපතිවරයකු මෙන්ම විදේශ කටයුතු, ආරක්ෂක සහ අධිකරණ වැනි ප්රමුඛ අමාත්ය ධූර රැසක් හොබවා ඇති ජී.එල්. පීරිස් මහතා තමා සතු ශාස්ත්රීය දැනුම සහ දේශපාලන අත්දැකීම් සුසංයෝග කරමින් මෙම ග්රන්ථය රචනා කර ඇත.
ලෝකයේ වඩාත්ම දරුණු ත්රස්තවාදී සංවිධානයක් සමඟ මුහුණට මුහුණ ලා සාකච්ඡා කිරීමේදී ඇති වූ අභියෝග, ජාත්යන්තර බලපෑම් සහ දෙපාර්ශවයේ උපාය මාර්ගික ගණනය කිරීම් පිළිබඳව මෙහි ඉතා පැහැදිලි හා පෞද්ගලික අත්දැකීම් අන්තර්ගත වෙයි. සාමය උදාකර ගැනීමට ගන්නා උත්සාහයකදී සිදුවන සුළු අතපසුවීමක් පවා කොතරම් විශාල බලපෑමක් කරන්නේ ද යන්න මෙම ‘The Sri Lanka Peace Process: An Inside View’ කෘතිය කියවන ඕනෑම අයකුට අවබෝධ කරගත හැකිය. පොතක මිල රුපියල් 7,500 කි.

