මරණ දඬුවමෙන් නිදහස් වූ රාණි බලන්නට විදේශ රැකියා ඇමතිනී ගිහින්
සෞදි අරාබියේදී මරණ දඩුවම නියම වී ඉන් නිදහස් වී නැවත ලංකාවට පැමිණි ගලේවෙල, කොලොන්ගොල්ල පදිංචි මාණික්කම් රාණි මහත්මියගේ සුවදුක් බැලීමට විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඉකුත් (ඉරිදා) 27 දා ඇයගේ නිවසට ගියාය.
ඇයට ජීවත් වීම සඳහා අවශ්‍ය කරන පහසුකම් ලබාදීමටත්, ඇයගේ නිවසේ වැඩ අවසන් කර දීමටත් අමාත්‍යතුමිය එහිදී පොරොන්දු වුවාය.
මෙහිදී අදහස් දැක්වූ මාණික්කම් රාණි මහත්මිය, ඇය බේරා ගැනීම සඳහා ඇප කැපවූ සියළු දෙනාට ස්තූතිය පුද කරන බවත් ඇයගේ ඉදිරි අනාගතය සාර්ථක කරගැනීමට උපකාරි වන ඇමතිනි තලතා අතුකෝරළ මහත්මියට ස්තූතිය පළකරන බවත් ප්‍රකාශකළාය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමිය සඳහන් කලේ, සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිළධාරීන්ගේ කැපවීම හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා විදේශ කටයුතු අමාත්‍යංශයේ මඟ පෙන්වීම මත ඇය නිදහස් කරගැනීමට හැකිවූ බවයි.
ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තරයේ ඇති පිළිගැනීම මෙමඟින් පිළිඹිඹු වන අතර, මීට පෙරත් මෙවැනිම ගල් ගසා මැරීමට නියම වූ කාන්තාවක් බේරාගැනීමට නොහැකි වූ බවද ප්‍රකාශ කළාය.
මාණික්කම් රාණි මහත්මිය 2014.08.28 වන දින විදේශ ගතවී ඇති අතර, ඇය සේවය කල නිවසේ මාස 9ක දරුවෙකු කිරි සිරවී මිය යාම නිසා ඇයව 2014.11.18 අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී මෙම දරුවා ඝාතනය කල බවට ඇයට චෝදනා එල්ල වී ඇත.
ඒ අනුව ඇයට වසර 10 සිර දඩුවමක් ලබාදී ඇයට මරණ දඩුවමට ලක් කරන ලෙස නිවසේ හාම්පුතා විසින් ඉල්ලීම් කර ඇතත්, සෞදි තානාපති කාර්යාලය මැදිහත්වී මෙම නඩුවට ඉදිරිපත් වී ඇය නිදහස් කර ගැනීමට හැකිවූ අතර, වසර 2 සිර දඩුවමක් ලැබීමෙන් අනතුරුව 2016.11.16 දින නැවත ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවිය. ඇය වයස අවුරුදු 29ක විවාහක කාන්තාවක් වන අතර, අවුරුදු 2ක දියණියකගේ මවක වේ.
(විනීතා එම්.ගමගේ)