පැරිස් උප නගරාධිපති එයි



ප්‍රංශයේ පැරිස් නුවර උප නගරාධිපතිවරයා මෙන්ම නගරයේ සංචාරක සහ ක්‍රීඩා අංශ බාර ජෝන් ෆොන්සුවා මාතින් ලබන 5 සහ 6 වැනිදා මෙරට සංචාරයක් සඳහා පැමිණෙයි.

උප නගරාධිපති ජෝන් ෆොන්සුවා මෙරටට පැමිණෙන්නේ ශ්‍රී ලංකා මුදල් අමත්‍යාංශයේ විශේෂ ආරාධනාවකට අනුවය. ජෝන් ෆොන්සුවා දෙදිනක් මෙරට රැඳී සිටිනු ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

2015 වසරේ ප්‍රංශයේ පැරිස් නුවර අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ හිතවාදීන් කළ  බෝම්බ ප්‍රහාරයකින් කැලැඹිණි.

බෝම්බ ප්‍රහාරයට මරාගෙන මැරෙන බෝම්බකරුවෝ තිදෙනෙක් පැමිණි අතර, ඔවුන්ගේ ප්‍රහාරවලින් 137 ක් ජීවිතක්ෂයට පත් වූහ.

එම ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ලොව අංක එකේ සංචාරක නගරයක් වන පැරිසියේ සංචාරක කටයුතු අඩපණ විය. ආරක්ෂාව තහවුරු කරමින් යළි සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ජෝන් ෆොන්සුවා මාතින් මැදිහත් වී කැපී පෙනෙන සේවයක් ඉටු කළේය.

පාස්කු ඉරිදා සිදුවුණු ප්‍රහාරයෙන් පසු, ශ්‍රී ලංකාවේ ආර්ථිකය පමණක් නොව සංචාරක කර්මාන්තය ද අඩපණ වී ඇති අතර, එම කටයුතු දියුණු කිරීම කෙසේ කළ යුතුදැයි ශ්‍රී ලංකා රජයට උපදෙස් දීම ජෝන් ෆොන්සුවා මාතින්ගේ සංචාරයේ අරමුණ වනු ඇතැයි පැවැසෙයි.


RECOMMEND POSTS