නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට එක්සත් වෙන්න



ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව එක්සත්ව එක්ව වැඩ කළ යුතුයැයි සාමකාමී රැස්වීමේ සහ සංගම් පැවැත්වීමේ නිදහසට ඇති අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ විශේෂ වාර්තාකරු ක්ලෙමන්ට් න්‍යාලෙස්ට්සොසි වූලී ප්‍රකාශ කර සිටී.

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ඉකුත් 26 වැනිදා සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් මේ බව ප්‍රකාශ කර ඇතැයි මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විශේෂයෙන්ම අප්‍රේල් ප්‍රහාරයෙන් පසුව රට තුළ වෛරී භාෂණය යොදා ගැනීම වැඩිවෙමින් පැවතීම ගැන ද විශේෂ වාර්තාකරු සිය කණස්සල්ල පළ කොට ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

විශේෂයෙන්ම බහුතර ප්‍රජාවේ සාමාජිකයන්ගේ ප්‍රචණ්ඩ කතාවන්ට නිරන්තරයෙන්ම පාහේ දඬුවමක් කෙරෙන්නේ නැති බවත් , වෛරී ගිනි දැල් ඇවිළවීමට සහ සාවද්‍ය ප්‍රවෘත්ති පතුරුවා හැරීමට සමාජ මාධ්‍යය යොදා ගැනීමෙන් මෙය වඩාත් තිව්‍ර වී ඇතැයි එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරු පෙන්වා දේ.

එක්සත් ජාතින්ගේ විශේෂ වාර්තාකරු ක්ලෙමන්ට් න්‍යාලෙස්ට්සොසි වූලී මහතා මෙසේද කියා සිටී.

“සාමකාමී රැස්වීමේ සහ සංගම් පැවැත්වීමේ නිදහසට ඇති අයිතිවාසිකමේ මූලය වන්නේ ජනතාවට එකට එක්ව ඔවුන්ගේ හඬ ඇසීමට සැලසීමට ඇති හැකියාවයි. රට මෙතෙක් අත්කර ගත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිය නංවාලීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව එක්සත්වීම වැදගත්.
රාජ්‍යය කෙරේ මානව අයිතිවාසිකම් පිළිබඳ බැඳීම් පැහැදිලිවම නිර්මාණ කෙරෙන අන්තර්ජාතික මානව අයිතිවාසිකම් ගිවිසුම් බොහොමයකට ශ්‍රී ලංකාව පාර්ශ්වයක් වන අතර එම බැඳීම් බොහෝ දුරට පිළිබිඹු වන ආකාරයේ නීති සම්මත කර ඇති තිබුණ ද සමාජයේ පවතින බෙදීම් ඒවා සම්පූර්ණයෙන් සාක්ෂාත් කර ගැනීමට ඇති තර්ජන පෙන්නුම් කර තිබෙනවා.

‘විශේෂයෙන්ම ඉදිරියේ එළඹෙන ඡන්ද විමසීම් වලදී රටේ දේශපාලන නායකයන් නිදහසට, නීතියේ ආධිපත්‍යයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ජනතාව තුළ පවතින කැමැත්ත ඉවත නොදැමිමත් දුෂ්කර සටන්වලින් අත් කර ගත් ප්‍රගතිය යටපත් නොකිරීමත් වැදගත්වේ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සාමකාමී රැස්විමේ නිදහසත් සංගම් පැවැත්විමේ නිදහසත් යන දෙකම ආරක්ෂා කෙරේ. දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සන්ධානය (ෂක්‍ක්‍ඡඍ ) සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් ඇතුළත් නීති ගණනාවක් භාවිතා කිරීමේ දී මෙම අයිතිවාසිකම් අනතුරට පත් අවස්ථා ගැන තමන්ට දැන ගන්නට ලැබී තිබේ.විශේෂයෙන් අයාලේ යන්නන් පිළිබඳ ආඥා පනත ද සුළුතර කණ්ඩායම් ඉලක්ක කර ගැනීමට යොදා ගෙන ඇත.

මෙම නීති නිරන්තරයෙන්ම, අතුරුදහන් කිරීම්, ඉඩම් අයිතිය, ජීවන වෘත්තීන් සහ සම්පත් ලබා ගැනීම සහ සංවර්ධන ව්‍යාපෘතීන් වැනි නිශ්චිත කරුනු වටා සංවිධානය වන ජනතාවට එරෙහිව වෙනස් කොට සැලකීමේ ආකාරයෙන් යොදන බව මගේ අවධානයට යොමුව තිබෙනවා.එමෙන්ම ආණ්ඩුව උද්ඝෝෂණවලට සහභාගි වන්නන් මතු කරන ගැටලුවලට සෘජුවම මුහුණ දීමෙන් විරෝධතාවයන්ගේ මූලික හේතු ආමන්ත්‍රණය කළ යුතුව පවතිනවා.’

විශේෂ වාර්තාකරුගේ සංචාරය සිදු වූයේ අප්‍රේල් මාසයේ සිදු වූ විනාශකාරී ත්‍රස්තවාදි ප්‍රහාර සහ පසුගිය වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බූදයෙන් පසුව රට තීරණාත්මක අවදියකට පත්ව ඇති අවස්ථාවකය. ඊට අමතරව දැනට හදිසි අවස්ථා නියෝග යොදා ගැනීම නිසා අවිනිෂ්චිත භාවය උත්සන්න වීමෙන් සිවිල් සමාජයේ සමහර සාමාජිකයන්ට තම ක්‍රියාකාරකම් සිදු කිරීමත් සාමකාමීව රැස්වීමත් වඩාත් දුෂ්කර වී ඇත.

මෑතක දී රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීමේ නීති සහ ප්‍රති-ත්‍රස්ත සහ ඒකාබද්ධ සේවා නියුක්ති කෙටුම්පත් සකස් කිරීම ඇතුළත් යෝජිත නීති ප්‍රතිශෝධන මාලාවක් යෝජනා වී ඇත. කෙසේ වුවත් මෙම ප්‍රතිශෝධන සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධයට ලක්ව පවතී. ඒවායින් දැනට පවතින අයිතිවාසිකම් යටපත් කිරීමේ අනතුරක් පවතින අතර ඒවා ඉදිරිපත් කර ඇත්තේ ප්‍රමාණවත් සහභාගිත්ව උපදේශන ක්‍රියාවලියකින් තොරව යැයි ඔවුහු පවසති.

මෙම විරෝධතා නිසා අදාල ඇමතිවරයා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ කෙටුම්පත ඉවත් කර ගෙන ඒ වෙනුවට සිවිල් සමාජයට සාකච්ඡාව සඳහා තමන්ගේම කෙටුම් පතක් නිර්මාණය අවස්ථාව ලබා දී ඇති බව ද සඳහන් කරනු කැමැත්තෙමි.

2009 දී අවසන් වූ දීර්ඝ කාලීන විනාශකාරී සිවිල් යුද්ධය අවසන්වීමෙන් පසුව ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වීමත් සිවිල් සමාජයට ක්‍රියාත්මකවීම අසීරු කර ඇත. විරෝධතා සහ වෙනත් ක්‍රියාකාරකම් ගැන සෝදිසි කිරීමේ බුද්ධි අංශ රාමුව තවමත් පවතින අතර මානව අයිතිවාසිකම් ක්‍රියාධරයින්ට තර්ජනය කිරීම් සහ හිරිහැර කිරීම් පවතින බව වාර්තා විය.

“රටේ සමහර ප්‍රදේශවල මෙය අතීතයේ පැවති භාවිතාව සිහිපත් කෙරෙන අතර ඉන් ජනතාව බියපත් කරවයි. එමගින් රැස්වීමේ නිදහස සහ සංගම් පැවැත්වීමේ නිදහස භාවිතයෙන් ජනතාව වැළක්වීමක්.

“2007 සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සන්ධාන පනත යටතේ වෛරී භාෂණය වැළැක්වීමේ නීති පවතින නමුත් ඒවා සමානව වෙනස් කොට සැලකීමෙන් තොරව යෙදෙන්නේ නැත. විශේෂයෙන්ම බහුතර ප්‍රජාවේ සාමාජිකයන්ගේ ප්‍රචණ්ඩ කතාවන්ට නිරන්තරයෙන්ම පාහේ දඬුවමක් කෙරෙන්නේ නැත. වෛරී ගිනි දැල් ඇවිළවීමට සහ සාවද්‍ය ප්‍රවෘත්ති පතුරුවා හැරීමට සමාජ මාධ්‍යය යොදා ගැනීමෙන් මෙය වඩාත් තිව්‍ර වී ඇත. මෙය ඕනෑම නියෝජනාත්මක ප්‍රජාතන්ත්‍රවාදයකට අත්‍යවශ්‍ය ලක්ෂණයක් වූ සමාජයේ සියලු අංශ අතර ගෞරවාන්විත සහ සාමකාමී සංවාදයක් පැවැත්විමට බරපතල තර්ජනයක්යැයි” වූලේ පැවසුවේය.

එක්සත් ජාතීන්ගේ විශේෂඥයා සිය සංචාරයේ දී ශ්‍රී ලංකාවේ උතුරු, දකුණ සහ නැගෙනහිර සහ අගනුවර කොළඹ ද සංචාරය කෙළේය. ඔහු ආණ්ඩුවේ නිලධාරීන් සහ සිවිල් සමාජයේ නියෝජිතයන්, වෘත්තීය සමිති සහ වෙනත් අය හමු වූයේය. ආරාධනය කිරීම ගැනත් සංචාරයට පෙර සහ එම සමයේ දී දැක්වූ සහයෝගිතාවයට ඔහු තම ස්තූතිය පළ කෙළේය.

විශේෂ වාර්තාකරුගේ නිගමන සහ නිර්දේශ 2020 ජුනි මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කවුන්සලයට ඉදිරිපත් කරනු ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS