තලපති ජය අපට බලපාන හැටි



තමිල්නාඩුවේ මැතිවරණ ප්‍රතිඵලය එහි දේශපාලන පරිණාමයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයින් අතර තලපති විජේ ලෙස ජනප්‍රිය ජෝසප් විජේ සහ ඔහුගේ තමිළග වෙට්රි කසාගම් පක්ෂය, ආසන 110 ක් දිනා ගනිමින් ප්‍රධානතම දේශපාලන බලවේගය බවට පත් විය. බහුතරය සඳහා ආසන 118 කට වඩා දිනාගත යුතු අතර, තමිළග වෙට්රි කසාගම් පක්ෂයට ආසන 8 ක අඩුවක් ඇත. නිල ප්‍රතිපල අනුව ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් හෙවත් ඩීඑම්කේ ප්‍රමුඛ සන්ධානය ආසන 73 ක් ද, ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් හෙවත් ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය ප්‍රමුඛ සන්ධානය ආසන 53 ක් ද දිනාගත්තේය. ඒ අනුව, බාහිර සහාය ඇතිව ස්වාධීනව හෝ මැතිවරණයෙන් පසු ඇති කර ගන්නා දේශපාලන සන්ධාන හරහා තමිල්නාඩුවේ රාජ්‍ය බලය පිහිටුවීමට තමිළග වෙට්රි කසාගම් පක්ෂය සූදානම් වෙයි.

දේශපාලනයේ පෙරැළියක් කළ තමිළග වෙට්රි කසාගම් පක්ෂයේ බලපෑම ප්‍රාන්ත සීමාවලින් ඔබ්බට විහිද යන්නකි. දීර්ඝ කාලයක සිට තමිල්නාඩුව යනු ඉන්දීයාවේ තවත් එක් ප්‍රාන්තයක් පමණක් නොව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල ස්වභාවය තීරණය කිරීමට හැකියාව ඇති, දේශපාලනික වශයෙන් ඉතා බලවත් සාධකයයි. තමිල්නාඩුවේ අභ්‍යන්තර දේශපාලන කතිකාව බොහෝ විට ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියට, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගන්නා තීරණ හැඩගැස්වීමට සෘජුවම දායක වෙයි. එබැවින් විජයිගේ මෙම දේශපාලන ආගමනය ඉදිරි කාලයේදී ඉන්දු-ලංකා සබඳතාවලට ද නව මුහුණුවරක් ලබා දීමට ඉඩ ඇත.

තමිල්නාඩුවේ සිදුවුණු මෙම දේශපාලන පෙරැළිය අපට වැදගත් වන්නේ නවදිල්ලිය විසින් මෙහෙයවනු ලබන ඉන්දියාවේ නිල විදේශ ප්‍රතිපත්තියේ ක්ෂණික වෙනසක් සිදුවීම මත නොව, තමිල්නාඩුවෙන් එල්ල විය හැකි දේශපාලන පීඩනයන්හි ඇති විය හැකි වෙනස්කම් මතය. ඉතිහාසය දෙස බලන විට, කච්චතිවු දූපත, ධීවරයින්ගේ ජීවනෝපාය සහ ශ්‍රී ලංකාවේ දෙමළ සරණාගතයන්ගේ තත්ත්වය වැනි කරුණු තමිල්නාඩුවේ දේශපාලන ගමන් මඟ සමඟ දැඩි ලෙස බද්ධ වී පවතී. විජේගේ නායකත්වයෙන් යුත් පාලනයක් යටතේ, මෙම ගැටලු වඩාත් දැඩි ස්වරූපයකින් සහ වැඩි අවධානයක් සහිතව යළි කරළියට පැමිණීමට ඉඩ ඇත. එමෙන්ම, මෙම වර්ධනය දෙස දේශපාලනික සංවේදීතාවන් දෙසින් පමණක් බැලීම අසම්පූර්ණ වනු ඇත. ඉන්දියාවේ වඩාත්ම ගතික ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස තමිල්නාඩුවේ නැගී සිටීම, ශ්‍රී ලංකාවට සිය සබඳතා නව මුහුණුවරකින් සකස් කර ගැනීමට අවස්ථාවක් සපයයි. එනම්, හුදෙක් මතභේද පාලනය කිරීමෙන් ඔබ්බට ගොස්, පොදු ආර්ථික අභිලාෂයන් මත පදනම් වූ සහයෝගීතා ගොඩනැගීම දක්වා වූ ගමනකට මෙයින් මග පෑදිය හැක.

කච්චතීවු පිළිබඳ ගැටලුව තමිල්නාඩුවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ තවමත් දැඩි කතාබහට ලක්වන මාතෘකාවකි. 1974 සහ 1976 වසරවල ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් සමුද්‍රීය සීමා ගිවිසුම් මගින් මෙම ප්‍රශ්නය නීත්‍යානුකූලව විසඳා තිබුණද, මැතිවරණ කාලසීමාවන්හිදී මෙය නිරන්තරයෙන් කරළියට පැමිණේ. ප්‍රකට නළු විජේ මේ සම්බන්ධයෙන් ඉතා පැහැදිලි සහ දැඩි ස්ථාවරයක් ගෙන ඇත. ඔහු කච්චතීවු දූපත නැවත ඉන්දියාවට ලබාගත යුතු බවටත්, එතෙක් අතුරු විසඳුමක් ලෙස එය දීර්ඝකාලීන බදු පදනමක් මත ලබාගත යුතු බවටත් යෝජනා කර තිබේ. මෙම ස්ථාවර දේශපාලනික වශයෙන් ප්‍රබල වුවද, ඒවා අලුත් දේ නොවේ. තමිල්නාඩු දේශපාලනය තුළ කච්චතීවු දූපත යනු ඓතිහාසික අසාධාරණයක සංකේතයක් මෙන්ම ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය හා බැඳුණු ප්‍රායෝගික ගැටලුවක් ලෙස ද සැලකෙයි.

කෙසේ වෙතත්, නීතිමය දෘෂ්ටිකෝණයකින් බලන කල මෙම තත්ත්වය ඉතා පැහැදිලිය. නවදිල්ලියේ බලයට පත් වූ අනුප්‍රාප්තික ආණ්ඩුවල ස්ථාවරය වී ඇත්තේ ජාත්‍යන්තර නීතියට අනුව මෙම ද්විපාර්ශ්වික ගිවිසුම් වලංගු බවය. ශ්‍රී ලංකාවට අනුව, කච්චතීවු දූපතේ ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය වී ඇති අතර එය නැවත සාකච්ඡාවට බඳුන් කළ යුතු කරුණක් නොවේ. විජේගේ දේශපාලන ආගමනයත් සමඟ වෙනස් විය හැක්කේ දූපතේ නීතිමය තත්ත්වය නොව, ඒ වටා ගොඩනැගෙන දේශපාලන පීඩනයයි. විශේෂයෙන්ම තරුණ ඡන්දදායකයන් අතර මහජන මතය ඒකරාශී කිරීමට ඔහුට ඇති හැකියාව නිසා, මධ්‍යම රජයට මේ සම්බන්ධයෙන් යම් ප්‍රතිචාරයක් දැක්වීමට (අවම වශයෙන් වාචික මට්ටමින් හෝ) බලපෑමක් එල්ල විය හැක.

එනිසා ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ස්ථාවර සහ නොවෙනස් විය යුතුය. ශ්‍රී ලංකාව සිය නීතිමය ස්ථාවරය පැහැදිලිව තහවුරු කරන අතරම, කච්චතීවු දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වැනි සාම්ප්‍රදායික කටයුතු සඳහා නම්‍යශීලීව ඉඩ ප්‍රස්ථාව ලබාදිය යුතුය. සංකේතාත්මක දේශපාලනය සහ නීතිමය අවසාන තීන්දුව අතර ඇති වෙනස නිවැරදිව වටහා ගැනීම මෙම ගැටලුව කළමනාකරණය කිරීමේදී අත්‍යවශ්‍ය වනු ඇත.

කච්චතීවු දූපත දේශපාලන සංකේතයක් නම්, ධීවර ගැටලුව යනු ක්ෂණිකව බලපාන, නිරන්තරයෙන් මතු වන සහ ගැඹුරු මානුෂීය මුහුණුවරක් ඇති ප්‍රශ්නයකි. දශක ගණනාවක සිට පෝක් සමුද්‍ර සන්ධිය යනු විශේෂයෙන්ම තමිල්නාඩු ධීවරයන් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර අන්තර් සම්බන්ධතා මෙන්ම ඇතැම් විට ගැටුම්කාරී තත්ත්වයන් ඇති වන කලාපයකි.

විජේගේ දේශපාලන පණිවිඩ තුළ ‘සාම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම්’ යන තේමාව යටතේ ධීවරයන්ගේ අයිතීන් සහ සුබසාධනය ගැන දැඩි අවධාරණයක් කෙරේ. ඔවුන්ගේ ජීවනෝපාය සඳහා මෙම මුහුදු සීමාවන් මත යැපෙන වෙරළබඩ ප්‍රජාවන් අතර මෙම මතවාදය ප්‍රබල ලෙස මුල් බැස තිබේ. කෙසේ වෙතත්, මෙහිදී සංකීර්ණ නීතිමය සහ පාරිසරික කරුණු කිහිපයක් පැන නගී.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු සීමාවන් පැහැදිලිව සලකුණු කර ඇත. එම සීමාවන් ඉක්මවා ගොස් අසීමිත ලෙස ‘සාම්ප්‍රදායික ධීවර අයිතීන්’ භාවිතා කිරීමේ සංකල්පයට වර්තමාන ජාත්‍යන්තර නීතිමය රාමුව තුළ සහයෝගයක් හිමි නොවේ. තවද, මෙය හුදෙක් මුහුදු සීමාවට ඇතුළු වීමේ ප්‍රශ්නයක් පමණක් නොව, මාළු අල්ලන ක්‍රමවේදය පිළිබඳ ගැටලුවක් ද වේ.

ඉන්දීය ධීවර යාත්‍රා මගින් තවමත් සිදු කෙරෙන ‘බොටම් ට්‍රෝලින්’ හෙවත් පතුල හූරා යන දැල් භාවිතය නිසා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සාගර සම්පත්වලට දැඩි පාරිසරික හානියක් සිදුව ඇත. මෙය තිරසාර සහ සුළු පරිමාණ ධීවර කර්මාන්තයේ යෙදෙන උතුරු පළාතේ ධීවරයන්ගේ ජීවනෝපායට සෘජුවම පහර වැදීමකි.

ප්‍රබල ජනවරමක් සහිත විජේගේ පාලනයක් යටතේ, තමිල්නාඩු ධීවරයන් වෙනුවෙන් පෙනී සිටීමේදී වඩාත් දැඩි ස්ථාවරයක් අනුගමනය කළ හැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ රජය සමඟ පවත්වන ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී නවදිල්ලියට එල්ල වන දේශපාලන පීඩනය තීව්‍ර විය හැකිය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ඉතා කල්පනාකාරී විය යුතුය. අත්අඩංගුවට පත්වන ධීවරයන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කඩිනමින් නිදහස් කිරීම ආදී මානුෂීය ප්‍රවේශය දිගටම පවත්වා ගත යුතු අතරම, පරිසරයට හානිකර ධීවර ක්‍රමවේද නීත්‍යානුකූල කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට දැඩි ලෙස විරුද්ධ විය යුතුය.

එමෙන්ම, මෙම අවස්ථාව දෙරට අතර සහයෝගීතා යාන්ත්‍රණයන් නැවත පණගැන්වීමට සහ ගැඹුරු කිරීමට ලැබෙන අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය. ඒකාබද්ධ ධීවර කළමනාකරණය, පතුල හූරා යන දැල් භාවිතයෙන් ක්‍රමයෙන් ඉවත් වීම සහ විකල්ප ජීවනෝපායන් සඳහා සහය වීම වැනි ක්‍රියාමාර්ග හරහා මෙම මතභේදාත්මක ගැටලුව සහයෝගීතා රාමුවක් දක්වා පරිවර්තනය කළ හැකිය.

තමිල්නාඩුව තුළ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් පිළිබඳ ප්‍රශ්නය යුද්ධයේ දිගුකාලීන උරුමයක් ලෙස තවමත් පවතී. යුද්ධය අවසන් වී දශක ගණනාවක් ගත වී ඇතත්, සැලකිය යුතු පිරිසක් තවමත් සරණාගත කඳවුරුවල වෙසෙන අතර, විවිධ ප්‍රතිපත්ති සහ තත්වයන් හමුවේ ඔවුහු අවිනිශ්චිත අනාගතයකට මුහුණ දෙමින් සිටිති.

ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් වැනි දේශපාලන පක්ෂ, සරණාගතයන්ට ඉන්දීය පුරවැසිභාවය ලබා දීම හෝ ඔවුන් ඉන්දීය සමාජය තුළ ස්ථීර ලෙස ඒකාබද්ධ කිරීම වෙනුවෙන් පෙනී සිටියද, විජේගේ ස්ථාවරය මේ දක්වා එතරම් පැහැදිලි නැත. ඔහු ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සමඟ ඇති සංවේදී සහ සංස්කෘතික සබඳතාව ගැන ප්‍රබල ලෙස කතා කළත්, සරණාගත තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක ප්‍රතිපත්තිමය රාමුවක් මෙතෙක් ඉදිරිපත් කර නොමැත. මෙම හිඩැස විශේෂ අවධානයට ලක්විය යුත්තකි. එයින් ගම්‍ය වන්නේ, මෙම ප්‍රශ්නය සංකේතාත්මක වශයෙන් වැදගත් වුවද, නව පාලනයේ ප්‍රමුඛ කාර්යභාරයන් තුළ එය තවමත් සම්පූර්ණයෙන් ඇතුළත් වී නොමැති බවය.

ශ්‍රී ලංකාවට මෙම සරණාගත ප්‍රශ්නය අභියෝගයක් මෙන්ම අවස්ථාවක් ද වේ. ශ්‍රී ලංකාවේ දිගුකාලීන අරමුණ වන්නේ මෙම සරණාගතයින් ස්වේච්ඡාවෙන්, ආරක්ෂිතව සහ ගෞරවාන්විතව නැවත සිය මව්බිමට පැමිණීමයි. කෙසේ වෙතත්, එවැනි නැවත පැමිණීමක් රඳා පවතින්නේ විශ්වාසය මතය. එනම්, ආර්ථික අවස්ථා, සමාජීය ඒකාබද්ධතාවය සහ දිගුකාලීන ස්ථාවරත්වය පිළිබඳව ඔවුන් තුළ ඇති විශ්වාසයයි.

තමිල්නාඩුවේ නව දේශපාලන නායකත්වය සරණාගතයන්ගේ තත්ත්වය පිළිබඳ සංවාදය නැවත විවෘත කිරීමට ඉඩ ඇත. සරණාගත ප්‍රතිපත්ති අවසාන වශයෙන් ඉන්දීය මධ්‍යම රජයේ අධිකරණ බලයට යටත් වන බව පිළිගන්නා අතරම, ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් නිර්මාණාත්මකව මැදිහත් වීමට සූදානම් විය යුතුය. ඔවුන්ගේ නැවත පැමිණීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව ක්‍රියාකාරී පියවර ගත යුතුය. සරණාගතයන් ඉන්දියාවේ රැඳී සිටි කාලය තුළ ලබාගත් අධ්‍යාපනික සුදුසුකම් පිළිගැනීම, ඔවුන් මෙරට අධ්‍යාපන හා රැකියා පද්ධතිවලට අනුයුක්ත කර ගැනීම සහ ඔවුන්ගේ උපන් ගම්බිම් තුළ තිරසාර ජීවනෝපාය අවස්ථා සහතික කිරීම මෙයට ඇතුළත් විය යුතුය.

මෙම දේශපාලනික සංවේදීතා හමුවේ තමිල්නාඩුවේ ශක්තිමත් ආර්ථික නැගී සිටීම හඳුනා ගැනීම ද ඉතා වැදගත් වේ. මෑත වසරවලදී ඉහළ වර්ධන වේගයක් වාර්තා කරමින්, ඉන්දියාවේ වඩාත්ම ගතික කලාපීය ආර්ථිකයක් ලෙස තමිල්නාඩුව මතු වී තිබේ. නිෂ්පාදන, මෝටර් රථ, රෙදිපිළි, ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍රයන්හි ඔවුන් ලබා ඇති දියුණුවට ශක්තිමත් යටිතල පහසුකම් සහ දක්ෂ ශ්‍රම බලකායක් දායක වී ඇත.

මෙය ශ්‍රී ලංකාවට වැදගත් උපායමාර්ගික අවස්ථාවකි. දැනටමත් ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන අතර, 2024 දී ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සිදු කළ අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 4.7ක් පමණ වේ. ඉන්දීය එක්සිම්  බැංකුවේ අධ්‍යයනයන්ට අනුව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදුවන වෙළඳාමෙන් සියයට 40 ක්ම සිදුවන්නේ තමිල්නාඩුව හරහාය. මෙම සබඳතා තවමත් නිසි ප්‍රයෝජන ගෙන නොමැත. ශ්‍රී ලංකාව තමිල්නාඩුව සමඟ පවත්වන ගනුදෙනු බොහොමයක් උපායමාර්ගික ඒවාට වඩා හුදු වෙළඳ සීමාවන්ට පමණක් සීමා වී ඇත. එබැවින්, විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල ආර්ථික උපායමාර්ග තමිල්නාඩුවේ ආර්ථික ගමන්මග සමඟ සමපාත කිරීම ඉදිරිගාමී පියවරක් වනු ඇත.

කච්චතීවු, ධීවර සහ සරණාගත ප්‍රශ්න නිරන්තරයෙන්ම ආතතීන්ට මුල් වන කරුණු ලෙස පෙනී ගිය ද, ප්‍රායෝගික රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් හරහා ඒවා සහයෝගීතාවයේ මාවත් බවට පත් කළ හැකි බව අතීත අත්දැකීම් පෙන්වා දෙයි. මා චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ කාලයේ (2006-2009), තමිල්නාඩු රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සරණාගත කඳවුරුවල සිටි ශ්‍රී ලාංකික සිසුන්ට 2006 සහ 2007 වසරවලදී අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දීමට හැකි විය. දේශපාලන බෙදීම්වලින් ඔබ්බට ගොස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටීමට අපට හැකි වූයේ එලෙසිනි. එමෙන්ම, සරණාගත කඳවුරුවල සිටි ශ්‍රී ලාංකිකයින් 29,489 දෙනෙකුට නැවත මෙරට පුරවැසිභාවය ලබා දීමට ගත් තීරණය ද මෙවැනි සාධනීය මැදිහත්වීමක ප්‍රතිඵලයකි.

ජෝසප් විජේගේ දේශපාලන ආගමනය තමිල්නාඩු දේශපාලනයේ නව අදියරක් සනිටුහන් කළද, ඉන්දු-ශ්‍රී ලංකා සබඳතාවල මූලික ගැටලු නොවෙනස්ව පවතී. කච්චතීවු, ධීවර සහ සරණාගත ප්‍රශ්න ද්විපාර්ශ්වික සාකච්ඡාවල දිගටම පවතිනු ඇත. මෙහි ඇති අලුත් තත්ත්වය වන්නේ මෙම ගැටලු වටා ඇති දේශපාලන බලමුලු ගැන්වීම්වල තීව්‍රතාවයයි. ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගය වන්නේ මෙම පීඩනයන් කළමනාකරණය කිරීම පමණක් නොව, ඒවා නව මානයකින් දැකීමය. ස්වෛරීභාවය පිළිබඳ කරුණුවලදී ස්ථාවරව සිටිමින්, මානුෂීය සහ ආර්ථික සහයෝගීතාව සඳහා විවෘතව කටයුතු කිරීම මගින් කොළඹ රජයට මෙම වෙනස් වන දේශපාලන පසුබිම සාර්ථකව ජයගත හැකිය. එවිට, විභව ආතතීන් දෙරටටම වාසිදායක ස්ථාවර සබඳතාවක පදනම බවට පත් කරගත හැකිය. එය හුදු අවශ්‍යතාවයක් පමණක් නොව, උපායමාර්ගික දැක්මක ද ජයග්‍රහණයකි.

P.M. අම්සා

Daily FT පුවත්පතේ පළ වුණු
Vijay’s victory in Tamil Nadu:
What it may mean for Sri Lanka ලිපියේ පරිවර්තනයයි.

(මෙම ලිපියේ කර්තෘ යුරෝපා සංගමය, බෙල්ජියම, තුර්කිය, යුක්රේනය සහ සෞදි අරාබිය යන රටවල ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිවරයකු ලෙසත්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයකු ලෙසත් කටයුතු කර ඇත. ඔහු 2006 සිට 2009 දක්වා චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ලෙස සේවය කළේය.)


RECOMMEND POSTS