ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මාර්තු මාසයේ රුසියාවේ නිල සංචාරයක



රුසියානු රජයේ නිල ආරාධනයකට අනුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබන මාර්තු මාසයේදී රුසියාවේ සිව් දින නිල සංචාරයක නිරත වන බව තානාපති ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ලබන මාර්තු 21 වැනිදා රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යෑමට නියමිතව ඇත.මාර්තු 21 වැනිදා සිට පුරා සිව් දිනක්  මොස්කව් නුවර රැඳී සිටින අතර එම කාලය තුළදී ජනාධිපතිවරයා එරට රජයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

රුසියාව හා ශ්‍රී ලංකාව අතර දිගුකාලය සිට පවතින තානාපති සබඳතා වර්ධනය කර ගැනීමේ එක් පියවරක් වශයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම නිල සංචාරයේ නිරත වේ.ජනාධිපතිවරයා සමඟ රජයේ දුත පිරිසක්ද මෙම සංචාරයට එක්වීමට නියමිතව ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.

මෙලෙස ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකු එරට රජයේ නිල ආරාධනයකට අනුව සංචාරයක නිරත වන ප‍්‍රථම අවස්ථවද මෙයවීම විශේෂත්වයකි.

මීට පෙර මෙලෙස රුසියාවේ නිල සංචාරයක නිරත වී ඇත්තේ 1974 වසරේදීය.ඒ එවකට අග‍්‍රාමාත්‍යවරියව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. 

මීට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2011 වසරේදී ජුනි 16 වැනිදා සිට 18 වැනිදා දක්වා රුසියාවේ පැවැති 15 වැනි ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුව සඳහා සහභාගී වු අතර එහිදී හිටපු ජනාධිපතිවරයා එම සමුළුවට සහභාගී වි සිටි එවකට රුසියා ජනාධිපති දිමිත‍්‍රි මෙද්වෙදෙව් හමුවිණි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම රුසියානු සංචාරය මාර්තු 26 වැනිදා අවසන් කරමින් මොස්කව් නුවර සිට බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතය.ඒ එදිනට නියමිත බංග්ලාදේශය ජාතික දින සැමරුම් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙනි.

 

 තිළිණි ද සිල්වා


RECOMMEND POSTS