කුවේටයේ ලාංකික කාන්තාවක ඝාතනය කළ යැයි ලාංකිකයෙක් අත්අඩංගුවට
කුවේටයේ සිය නවාතැන්පොළේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක ගිනි තබා ඝාතනය කළ යැයි චෝදනාවට තවත් ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව කුවේට් තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ කුවේට් සිටි නගරයේ රැකියාවක නියුතු ලාංකිකයෙකි.සැකකාර ලාංකිකයා පොලීසිය හමුවේ මෙම ඝාතනය සිදු කළ බවට ප්‍රකාශ ලබා දී ඇතැයි එම ආරංචි මාර්ග වලින් සඳහන් වේ.
කුවේට් සිටි නගරයේ මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි ලාංකික කාන්තාවක් ගිනි ගැනීමකට හසුව මියයෑමේ සිද්ධිය පසුගිය සතියේදී වාර්තාවූ අතර එම මහල් නිවාස සංකීර්ණයේ ඇතිවූ ගින්නක් සම්බන්ධයෙන් පැවැත්වූ මූලික පරීක්ෂණ වලින් පසුව කුවේට් පොලීසිය මෙම ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇත.
ගිනි තබා ඝාතනය කළේ යැයි පැවසේන කාන්තාව සහ සැකකාර ලාංකිකයා එකම නවාතැන්පොළේ ලැගුම ගෙන සිටි අයෙක් බැව් පැවසේ.
පසුගිය සතියේදී කුවේට් සිටි නගරයේ මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි එම ලාංකික කාන්තාවක් ගිනි ගැනීමකට හසුවූ සිද්ධියේදී අදාළ ගින්න මැඩැපැවත්වීම සඳහා කුවේට් ගිනි නිවන භටයන් දැඩි උත්සහයක නිරතවූ අතර එම ස්ථානයට ආරක්ෂක අංශ සහ වෛද්‍ය කණ්ඩායම්ද පැමිණ තිබෙනවා.
එහිදී එම මෙහෙයුම් සිදු කළ කුවේට් බලධාරීන් විසින් බරපතල පිළිස්සුම් තුවාල ලබා සිටි ශ්‍රී ලාංකික කාන්තාව බේරා ගෙන ඇයව රෝහල් ගත කරනු ලැබූවද පසුව ඇය ජීවිතක්ෂයට පත්වූවාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය හා එරට පොලීසිය එක්ව පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී ඇය සමඟ එම නිවාස සංකීර්ණයේ සිටි බව කියන ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳව කුවේට් පොලීස් පරීක්ෂණ වලදී අවධානය යොමුවී තිබේ
අදාළ කාන්තාව ගින්නට හසුව මියයෑමෙන් පසුව ඇය සමඟ එකම නවාතැන්පොළේ නැවතී සිටි මෙම ලාංකිකයා අතුරුදන්ව සිට ඇති අතර පසුව එරට පොලීසිය දියත් කළ පරීක්ෂණ වලින් මොහු සැගවී සිටියදී සොයා ගෙන අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මුලින්ම එරට පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ අදාළ කාන්තාව ගිනි තබාගෙන දිවි නසාගැනීමට උත්සාහ කළ අතර, ඇය බේරාගැනීමට ප්රයත්න දැරීමේදී තමාටද පිළිස්සුම් තුවාල සිදුවූ බවයි.
කෙසේ නමුත් කුවේට් පොලීසිය මොහු ගැන සැක සිතී තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කර ඇති අතර ඔහු සිය අපරාධය පිළිබඳව කුවේට පොලීසියට පාපොච්චාරණයක් කර තිබෙනවා.
ඇය නිදා සිටියදී ඇවිළෙන සුළු ද්‍රාවයක් වත්කොට ඔහු විසින් ගිනි තබා ඇති බවට පොලීසිය අනාවරණ කරගත් බවයි කුවේට් තානාපති ආරංචි මාර්ග සඳහන් කළේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් ප්‍රශ්න කිරීම් අවසන් වූ වහාම ශ්‍රී ලාංකික කාන්තාවක ගිනි තබා ඝාතනය කළ බවට චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර ලාංකිකයාට එරෙහිව කුවේට් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද වාර්තාවේ
( තිළිණි ද සිල්වා )