කුණු තෙගයේ සිරුරු කොටස් ඇතිදැයි සැකයක්



බි‍්‍රතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට එවා ඇති කසල කන්ටේනර් තුළ මිනිස් සිරුරු කොටස් ඇතැයි ශ්‍රී ලංකා බලධාරීන් කළ අනුමානය සැලකිල්ලට ගනිමින්, ඒ ගැන විමර්ශනයක් ආරම්භ කිරීමට බි‍්‍රතාන්‍ය රජය සූදානමින් වන බව බි‍්‍රතාන්‍යයේ ‘ටෙලිග‍්‍රාෆ්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

කුණු කන්ටේනර් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට සූදානම් වන්නේ බි‍්‍රතාන්‍යයේ පරිසර, ආහාර සහ ග‍්‍රාමීය කටයුතු පිළිබඳ අමත්‍යාංශය හෙවත් ‘ඩෙෆ්රා’ මැදිහත් වීමෙනි.

කෙසේ නමුත් මෙම කාරණාව සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් මෙතෙක් නිල වශයෙන් ඉල්ලීමක් ලැබී නැති බව ද ‘ඩෙෆ්රා’ අමත්‍යාංශය පවසා ඇත.

මීට දෙවසරකට පෙර සිට කොළඹ වරායට ගෙන්වන ලද මෙම කන්ටේනර් තොගයේ ඇති කන්ටේනර් 111 ක් කෙරෙහි වරාය බලධාරීන්ගේ අවදානය යොමු වූයේ ඒවායින් වහනය වූ අධික දුර්ගන්ධයක් නිසා යැයි ‘ටෙලිග‍්‍රාෆ්’ පුවත් වෙබ් අඩවිය වැඩි දුරටත් වාර්තා කරයි.

එම කන්ටේනර් තුළ පාවිච්චි කළ මෙට්ට අඩංගු බව පවසා ඇති නමුත්, එම මෙට්ට අතර සඟවා රෝහල් අපද්‍රව්‍ය සහ විස ප්ලාස්ටික් කොටස් පමණක් නොව මිනිස් සිරුරු කොටස් ද අන්තර් බව ශ්‍රී ලංකා බලධාරීන් පවසා ඇතැයි ‘ඩෙෆ්රා’ අමත්‍යාංශය පැහැදිලි කරයි.

මහා බි‍්‍රතාන්‍යයේ රෝහල් අපද්‍රව්‍ය බැහැර කිරීම පසුගිය වසර ගණන පුරාවට විශාල ගැටලූවක් වූ හෙයින්, ශ්‍රී ලංකාවට යවා ඇති කසල කන්ටේනර් තොගයේ, මිනිස් සිරුරු කොටස් තිබෙන බවට තහවුරු වුවාහොත් ඒවා මහා බි‍්‍රතාන්‍යයේ රජයේ රෝහල්වලින් බැහැර කෙරෙනු අපද්‍රව්‍ය වනු ඇත.

‘නීතිවිරෝධී ආකාරයට කසල බැහැර කිරීම්වලට අප විරුද්ධ වෙනවා. එසේ නීති විරෝධී ආකාරයට කසල බැහැර කළ පුද්ගලයන් සහ සමාගම් සිටී නම්, ඔවුන්ට සිරදඬුවම් ලබා දීමටත්, සීමාරහිත දඬ මුදල් පැනැවීමටත් වහා පියවර ගන්නවා’ යැයි ‘ඩෙෆ්රා’ අමත්‍යාංශය පවසා තිබේ.

මීට වසරකට පෙර, මහා බි‍්‍රතාන්‍යයේ රජයේ රෝහල්වලින් අපද්‍රව්‍ය බැහැර කිරීම බාරදී තිබුණේ ‘හෙල්ත්කෙයා එන්වයරන්මන්ට් සර්විසස්’ නමැති පෞද්ගලික කොන්ත‍්‍රාත් සමාගමකටය.

රෝහල් 50 කට වැඩි ප‍්‍රමාණයකින් පමණ බැහැර කළ අපද්‍රව්‍ය, මිනිස් සිරුරු කොටස්, දියර ආදිය ක‍්‍රමවත්ව බැහර නොකර ගොඩගසා ගැනීම හේතුවෙන් පසුගිය වසරේ දෙසැම්බරයේ එම සමාගමෙන් සේවා ලබා ගැනීම නවතා දැමුණු අතර බි‍්‍රතාන්‍ය රජය එම සමාගම සමඟ ඇතිකරගත් ගිවිසුම් ද අවලංගු කෙරුණි.

පසුගිය වසරේ සැප්තැම්බරය වනවිට, නියමිත ප‍්‍රමාණය වූ ටොන් 70 වට වඩා පස් ගුණයකින් එනම්, ටොන් 350 කින් කසල එක් රැස් විය. ඒවායින් බොහොමයක් ශීතකරණවල ගබඩා කිරීමට සමාගම කටයුතු කළ අතර මෙය දැඩි දෝෂදර්ශනයට හේතුවක් විය.

‘හෙල්ත්කෙයා එන්වයරන්මන්ට් සර්විසස්’ හිටපු ප‍්‍රධානී ගැරී පැටිග්‍රෝව් ට්විටර් පණිඩුයක් මගින් පවසා ඇත්තේ, තම සමාගම ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනුවක් නොකළ බවත්, බි‍්‍රතාන්‍ය රජයේ රෝහල්වලින් බැහැර කරන අපද්‍රව්‍ය විදේශවලට නැව්ගත කිරීම සම්බන්ධයෙන් කිසිදු නීතිවිරෝධී කටයුත්තක් සිදු නොකළ බවත්ය. නීතිවිරෝධී ආකාරයට බි‍්‍රතාන්‍යයේ කසල බැහැර කිරීම හේතුවෙන් මීට පෙර ද අවස්ථා ගණනාවකදී අර්බුද නිර්මාණය වී තිබේ.

පෝලන්ත සමාගමක් එරට ඉඩමක් ගොඩකිරීමට මහා බි‍්‍රතාන්‍යයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය යුරෝ මිලියන ගණනක මුදලකට ලබා ගැනීම සම්බන්ධයෙන් ‘ටෙලිග‍්‍රාෆ්’ පුවත් වෙබ් අඩවිය පසුගිය වසරේ අනාවරණයක් කළේය. මහා බි‍්‍රතාන්‍යයෙන් පමණක් නොව, යුරෝපා රටවලින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය චීනය, වියට්නාමය, මැලේසියාව, තායිලන්තය ආදී රටවලට බැහැර කිරීම සිදුවුණු නමුත්, මේ වනවිට එම රටවලින් ඊට දැඩි ලෙස විරෝධයක් එල්ල වී ඇත.

(ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය ඇසුරිනි)

ඡායාරූප - චතුර කොඩිකාර


RECOMMEND POSTS