එල් නිනෝ සහ ලා නිනා



හරිම රස්නෙයි නේද? මේ දිනවල පවතින මේ දැඩි උණුසුම් වියලි කාලගුණ තත්ත්වය තවදුරටත් තීව්‍ර කරමින් ලබන මැයි මාසය වන විට ශ්‍රී ලංකාවට 'එල් නිනෝ' සංසිද්ධිය බලපෑ හැකි බවට දේශගුණ විද්‍යාඥයින් අනතුරු අඟවයි. එබැවින්, ඉදිරි මාසවලදී දිවයින පුරා දැඩි උණුසුමක් සහ වියළි දේශගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යාඥයෝ පසුගිය දා පැවසූහ.

පැසිෆික් සාගරයේ මතුපිට ජලය අසාමාන්‍ය ලෙස උණුසුම් වීමෙන් ඇති වන මෙම දේශගුණික විපර්යාසය හේතුවෙන් ශ්‍රී ලංකාවට වාර්ෂිකව ලැබෙන නිරිතදිග මෝසම් වැසි පවා අඩාල වීමේ අවදානමක් මතුව ඇත. එල් නිනෝ දර්ශකය 0.5 ඉක්මවා ගියහොත් මැයි මාසයේ සිට එහි සෘජු බලපෑම ශ්‍රී ලංකාවට එල්ල වනු ඇති බවත්, එය මෝසම් සුළං සක්‍රීය වීමට බාධාවක් විය හැකි බවත්, කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කළහ.

මේ පිළිබඳ අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පෙන්වා දී ඇත්තේ වලාකුළු නිර්මාණය වීම අවම වීම හේතුවෙන් දැනටමත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණයක් පවතින බවය. ලබන ඔක්තෝබර් මාසය දක්වා සැලකිය යුතු වර්ෂාපතනයක් බලාපොරොත්තු විය නොහැකි බවත්, එල් නිනෝ තත්ත්වය හේතුවෙන් මෙම නියඟය තවදුරටත් දිර්ඝ විය හැකි බවත් ඒ මහතා පැවැසීය.

කෙසේ නමුත්, වාර්ෂිකව අප්‍රේල් මැද භාගයේදී ඇති වන බක් මහ අකුණු වැසි (සංවහන වැසි) මෙවරත් සුළු වශයෙන් අපේක්ෂා කළ හැකි වුව ද, ඒවා වියළි කාලගුණය නිමා කිරීමට ප්‍රමාණවත් නොවන බව දෙපාර්තමේන්තුව පුරෝකතනය කර ඇත. පවතින තත්ත්වය මත මිනිස් සිරුරට දැනෙන උණුසුම (Heat Index) ‘අවධානය යොමු කළ යුතු’ මට්ටම දක්වා ඉහළ යනු ඇතැයි අනුමාන කෙරේ. විශේෂයෙන්ම බස්නාහිර‍, සබරගමුව පළාත්, දකුණ, වයඹ, උතුර සහ උතුරු මැද පළාත් සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව මේ ගැන වැඩි අවධානයක් යොමු කර පරිස්සම් විය යුතු යැයි කුලගුණ විද්‍යා ආයතනය උපදෙස් දී ඇත.

මෙම තත්ත්වය හමුවේ සෘජු හිරු එළියට නිරාවරණය වීම සීමා කරන ලෙසත්, ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි. පෘථිවි දේශගුණ පද්ධතියේ පවතින වඩාත්ම බලපෑම් සහගත සාගර-වායුගෝලීය සංසිද්ධිය ලෙස සැලකෙන්නේ එන්සෝ ENSO (El Niño-Southern Oscillation) හෙවත් එල් නිනෝ දක්ෂිණ විචලනය යනුවෙනි. මෙය හුදෙක් වැසි වැටීම හෝ නියඟය ඇතිවීම පමණක් නොව, ගෝලීය ආහාර සුරක්ෂිතතාව, ආර්ථිකය සහ ජෛව විවිධත්වය කෙරෙහි සෘජු බලපෑම් එල්ල කරන සංකීර්ණ විද්‍යාත්මක ක්‍රියාවලියකි.

පැසිෆික් සාගරයේ සාමාන්‍ය තත්ත්වය යටතේ, නිවර්තන කලාපීය අන්තර් නිවර්තන අභිසරණ කලාපය (ITCZ) ආශ්‍රිතව නැගෙනහිර සිට බටහිර දෙසට ප්‍රබල වෙළඳ සුළං (Trade Winds) හමා යයි. මේ හේතුවෙන් සාගර මතුපිට ඇති උණුසුම් ජලය ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව දෙසට තල්ලු වන අතර, දකුණු ඇමරිකා වෙරළ තීරයේ ගැඹුරු සීතල ජලය මතුපිටට පැමිණෙයි. මෙය පෘථිවියේ සාමාන්‍ය වැසි රටාව පාලනය කරන ස්වභාවික එන්ජිමය.

එල් නිනෝ තත්ත්වයක් ඇති වන්නේ ඉහත කී වෙළඳ සුළං දුර්වල වූ විටය. එවිට බටහිර පැසිෆික් කලාපයේ රැස්ව තිබූ උණුසුම් ජල කඳ නැවතත් දකුණු ඇමරිකාව දෙසට ගලා එයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.5 ට වඩා වැඩි අගයකින් ඉහළ යයි. මෙම උණුසුම් වීම නිසා වායුගෝලයේ පීඩන රටාවන් වෙනස් වී, සාමාන්‍යයෙන් තෙතමනය සහිත ප්‍රදේශවලට දැඩි නියඟයත්, වියළි කලාපවලට අසාමාන්‍ය තද වැසි සහ ගංවතුරත් ඇති වේ. විද්‍යාත්මක දත්ත පෙන්වා දෙන්නේ එල් නිනෝ වසරවලදී ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යන බවය.

ලා නීනා යනු එල් නිනෝ ප්‍රතිවිරුද්ධ අන්තයයි. මෙහිදී වෙළඳ සුළං සාමාන්‍යයට වඩා අතිශය ප්‍රබල වන අතර, එමඟින් උණුසුම් ජලය විශාල වශයෙන් බටහිර දෙසට තල්ලු කරයි. එවිට මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ ගැඹුරු සීතල ජලය විශාල ලෙස මතුපිටට පැමිණීම නිසා සාගර උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා පහළ වැටේ. ලා නීනා තත්ත්වය පවතින විට ආසියානු කලාපයට සහ ඕස්ට්‍රේලියාවට අධික වැසි සහිත කාලගුණයක් උදා වේ. මෙය කෘෂිකර්මාන්තයට හිතකර විය හැකි වුවද, දරුණු ගංවතුර සහ සුළි කුණාටු ඇතිවීමේ අවදානම ද ඉහළ නංවයි.

නූතන විද්‍යාඥයන්ගේ දැඩි අවධානය යොමුව ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන ගෝලීය උණුසුම් වීම (Global Warming) මෙම සංසිද්ධි කෙරෙහි බලපාන ආකාරය පිළිබඳවය. දේශගුණික විපර්යාස හේතුවෙන් එල් නිනෝ සහ ලා නීනා සංසිද්ධි සිදුවන වාර ගණන සහ ඒවායේ තීව්‍රතාවය ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වේ. විශේෂයෙන්ම සුපිරි එල් නිනෝ (Super El Niño) වැනි තත්ත්වයන් මඟින් ලොව පුරා පරිසර පද්ධතිවල සමතුලිතතාවය බිඳ දමමින් පවතී.

ආරම්භයේ දී කී අයුරින්ම ශ්‍රී ලංකාව වැනි නිවර්තන දූපත් රාජ්‍යයකට මෙම වෙනස්වීම් තීරණාත්මක වේ. එල් නිනෝ සමයේදී රටේ නිරිතදිග ප්‍රදේශවලට ලැබෙන වැසි අඩුවීමෙන් ජල විදුලි උත්පාදනයට බාධා පැමිණෙන අතර, ලා නීනා සමයේදී නායයෑම් සහ ගංවතුර අවදානම ඉහළ යයි. එබැවින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබාදෙන පූර්ව අනතුරු ඇඟවීම් සහ විද්‍යාත්මක දත්ත විශ්ලේෂණය කරමින් කෘෂිකාර්මික හා බලශක්ති සැලසුම් සකස් කිරීම අත්‍යවශ්‍ය වේ.

එල් නින යනු ස්පාඤ්ඤ භාෂාවෙන් කුඩා පිරිමි දරුවා යන අර්ථයයි. 1600 ගණන්වලදී ලතින් ඇමෙරිකාවේ පේරු රාජ්‍යයේ ධීවරයන් නිරීක්ෂණය කළේ, ඇතැම් වසරවල දෙසැම්බර් මාසය වන විට සාගර ජලය සාමාන්‍යයට වඩා උණුසුම් වන බවය. මෙම කාලය නත්තල් සමය හා සමපාත වූ බැවින්, ඔවුන් මෙම උණුසුම් දියවැල ක්‍රිස්තු බිළිඳා (The Christ Child) යන අරුතින් එල් නිනෝ ලෙස හැඳින්වයීම සිදුවිය. මෙම තත්ත්වය ඇති වූ විට සාමාන්‍යයෙන් එම ප්‍රදේශවල මත්ස්‍ය අස්වැන්න අඩු වන අතර ගොඩබිමට තද වැසි ලැබේ. ලා නිනා යන්නෙහි අර්ථය කුඩා ගැහැනු දරුවා යන්නය. මුලින් මෙයට ප්‍රති-එල් නිනෝ (Anti-El Niño) ලෙස නමක් යෝජනා වුවද, පසුව පිරිමි දරුවා යන්නට ප්‍රතිවිරුද්ධ අර්ථය දීම සඳහා විද්‍යාඥයන් විසින් ලා නිනා යන නම තෝරා ගනු ලැබීය.

බීබීසී සයන්ස් ඇසුරිනි


RECOMMEND POSTS