එක්සත් ජාතීන්ගේ තවත් නියෝජිතයෙක් ලංකාවට



මානව අයිතිවාසිකම් සහ ත‍්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහතා පස් දින නිල සංචාරයක් සඳහා හෙට සඳුඳා (10) දිවයිනට පැමිණීමට නියමිතය.

ලබන  14 දක්වා ශ‍්‍රී ලංකාවේ රැුඳී සිටින බෙන් එමර්සන් මහතා ත‍්‍රස්තවාදය පිටු දැකීමේ කටයුතු පිළිබඳ ක්ෂේත‍්‍රයන්හි මුල පිරුම් සහ ඒවා මානව අයිතිවාසිකම් ප‍්‍රවර්ධනයට සහ ආරක්ෂා කිරීමට බලපාන ආකාරය ගැන ඔහු  විසින්ම තොරතුරු රැස් කිරීමට මෙම සංචාරය තුළඳී කටයුතු කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතගේ මෙම ශ්‍රී ලංකා සංචාරය ඇසුරෙන් සැකසූ වාර්තාවක්  ලබන වසරේ මාර්තු මාසයේ දී ජිනීවා මානව හිමිකම්  කවුන්සලයට ඉදිරිපත් කිරීමටද නියමිත බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය සඳහන් කරයි.

එමර්සන් මහතා දිවයිනේ ගත කරන දින පහ ඇතුළත විදේශ කටයුතු, නීතිය සහ සාමය, දක්ෂිණ සංවර්ධනය, අධිකරණ, ආරක්ෂාව, මුදල්, මාධ්‍ය, බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශ ඇතුළු රජයේ  නියෝජිතයන් සමග ඉහළ මට්ටමේ රැුස්වීම් පැවැත්වීමට නියමිත යැයිද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.

මීට අමතරව එමර්සන් මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ,නීතිය බලාත්මක කරන නිලධාරීන් , පොලීසියේ විශේෂ දෙපාර්තමේන්තු සාමාජිකයන්, පොලිස් කොමිසම සහ මානව හිමකම් කොමිසමේ සාමාජිකයින් හමුවීමට නියමිතය.තවද ත‍්‍රස්තවාදී ක‍්‍රියා සම්බන්ධයෙන් සැකපිට හෝ දඬුවම් නියම වූ පුද්ගලයන් සමග සම්මුඛ සාකච්ඡුා කිරීමට එමර්සන් මහතා රැුඳවුම් ස්ථානවලටද යෑමට නියමිතය. 

ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනයකට අනුව මානව අයිතිවාසිකම් සහ ත‍්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා මෙරටට සිටින  අන්තර්ජාතික ප‍්‍රජාවේ නියෝජිතයන්, නීතිඥයන් සහ රාජ්‍ය නොවන සංවිධාන සමග සාකච්ඡා කරනු ඇත. තවද ඔහු අනුරාධපුරය සහ වවුනියාව ඇතුළත් වෙනත් ප‍්‍රදේශවල දින කීපයක් ගත කරනු ඇත. 

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS