ඉරානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය

ඉරානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පත්වුණු මහාචාර්ය ෆසීමා අස්මි මහත්මිය, ඉකුත් ජූනි 30 වැනිදා තෙහෙරාන් අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කළාය.
මහාචාර්ය ෆසීමා අස්මි මහත්මිය, ඉරානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස තේරී පත්වූයේ මෙම වසර මුලදී ඇගේ පත්වීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවීමත් සමගය.
ඉරාන තානාපති ධූරය දැරීමට පෙර ඇය වසර ගණනාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා මහාචාර්යවරියක ලෙස කටයුතු කර තිබේ. ෆසීමා අස්මි මහත්මිය, මාවනැල්ල සහිරා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ඇති අතර, එහිදී භූගෝල විද්‍යාව සඳහා ඇය පළමු පෙළ පන්ති සාමාර්ථයක් සහිතව 1995දී ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාව අවසන් කර ඇත.
1996 වසරේ සිට ඇය කථිකාචාර්යවරියක ලෙස 2001 වසර දක්වා කාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ අතර එම කාලය තුළදී ඇය සිය පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා නෝර්වීජියානු විශ්වවිද්‍යාලයක ශිෂ්‍යත්වයකට සුදුසුකම් ලැබුවාය.
නෝර්වීජියානු විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය පිරිනමන, සංවර්ධනය වෙමින් පවතින රටවල සමාජීය විපර්යාස (සංවර්ධන අධ්‍යයන) පිළිබඳ දර්ශනපති උපාධියක් හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයකට 1997 වසරේදී ඇය සුදුසුකම් ලැබූ අතර, එම විශ්වවිද්‍යාලයේ ම භූගෝල විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ද 2004 වසරේදී ශිෂ්‍යත්වයක් හිමි කර ගත්තා ය.
ඉන්පසු ඇය නෝර්වීජියානු විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ම පශ්චාත් ආචාර්ය උපාධියක් සම්පූර්ණ කර තිබේ. ඒ, 2016 සිට 2018 දක්වා කාලයේදී ය. 1996 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කිරීම ආරම්භ කිරීමෙන් පසුව මහාචාර්ය ෆසීමා 2001 වසරේදී දෙවන ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස උසස්වීමක් ලැබූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවියේ දැක්වෙයි.

