අපේ රටින් අලුත් වවුල් විශේෂ දෙකක්



ශ්‍රී ලංකා වවුලන් විශේෂ අතරට නව සාමාජිකයන් දෙදෙනකු එක් කිරීමට, රුහුණු විශ්වවිද්‍යාලයේ, කොළඹ විශ්වවිද්‍යාලයේ සහ ඇමෙරිකාවේ චිකාගෝ නුවර ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ (Field Museum of Natural History) තරක කුසුමින්ද, චාමර අමරසිංහ, අමානි මාන්නක්කාර, බෲස් ඩී. පැටර්සන් සහ විපුල බී. යාපා යන පර්යේෂකයෝ සමත් වී සිටිති.

නව වවුල් සාමාජිකයන් වන්නේ වෲටන්ගේ නිදැලි වලිග වවුලා (Wroughton's free-tailed bat - Otomops wroughtoni) සහ නැගෙනහිර ආසියානු නිදැලි වලිග රැළිතොල් වවුලා (East Asian free-tailed bat - Tadarida insignis) ය. තේ වතු ආශ්‍රිතව, ධ්වනි අධීක්‍ෂණය (advanced acoustic monitoring) නමැති ක්‍රමය උපයෝගී කර ගනිමින්, මෙම සොයා ගැනීම කළ බව පැවැසෙයි.

වවුලන් රාත්‍රී කාලයේදී ඉහළ අහසේ පියාසර කරන බැවින් ඔවුන් නිරීක්ෂණය කිරීම පහසු නොවෙයි. නමුත්, ධ්වනි අධීක්ෂණය නමැති ක්‍රමය මගින්, විද්‍යාඥයන්ට වවුලන්ගේ සුවිශේෂී ප්‍රතිරාව ස්ථානගත කිරීමේ (echolocation) ශබ්ද හරහා විශේෂ හඳුනා ගැනීමට සහ වර්ග කිරීමට හැකියාව ලැබෙයි. ශ්‍රී ලංකාවේ දැනට හඳුනාගෙන ඇති අනෙකුත් වවුලන් විශේෂවල ශබ්දවලට වඩා නිදැලි වලිග වවුලා සහ නිදැලි වලිග රැළිතොල් වවුලාගේ ශබ්ද වෙනස් යැයි ද පැවැසෙයි

මෙම නව සොයා ගැනීම සහ ඊට අදාළ අධ්‍යයනය, තේ වගාවන් විභව වනජීවී වාසස්ථාන ලෙස ඉටු කරන කාර්යභාරය ද ඉස්මතු කරන අතර, කෘෂිකර්මාන්තය සංරක්ෂණය සමඟ ඒකාබද්ධ කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි. මෙම නව සොයා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ වවුලන් විශේෂ සංඛ්‍යාව 33 දක්වා ඉහළ යන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. 
 
Daily Mirror ඇසුරිනි


RECOMMEND POSTS