පලස්තීනය රාජ්‍යයක් විදියට පිළිගන්නවා - කැනඩා අගමැති



පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට කැනඩාව ද සූදානම් බව එරට අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නී නිවේදනය කර ඇත. කැනඩා අග්‍රාමාත්‍යවරයා මෙසේ නිවේදනය කළේ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් ද පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව පැවැසීමත් සමඟය.

ඒ අනුව, සැප්තැම්බරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී, මැක්රොන්, කියෙර් ස්ටාර්මර් පමණක් නොව, මාර්ක් කාර්නී ද පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගනු ඇත.

ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය සහ කැනඩාව මෙම තීරණය ගෙන ඇත්තේ, ඊශ්‍රායල හමුදා දිගින් දිගටම ගාසා තීරයට පහර දීමත්, ගාසා තීරයේ පලස්තීනුවන් මියයෑමත් හේතුවෙනි.

පලස්තීනුවන් ජීවත් වන්නේ ගාසා තීරයේ සහ බටහිර ඉවුරේය. මෙම ස්ථාන දෙක එකිනෙකට දුරින් පිහිටයි. ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය සහ කැනඩාව පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගත්තත්, එයින් ඊශ්‍රායලයට බලපෑමක් නොවනු ඇතැයි ඊශ්‍රායලයට සහාය පළ කරන, ඊශ්‍රායලයේ මිතුරා වන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

මේ අතර, ජිනීවා නුවර පැවැත්වුණු අන්තර් පාර්ලිමේන්තු සංගම් සමුළුව ආමන්ත්‍රණය කරමින්, ඊශ්‍රායල පාර්ලිමේන්තු කතානායක අමීර් ඔහානා පැවැසුවේ, ප්‍රංශයට සහ මහා බ්‍රිතාන්‍යයට පලස්තීනුවන්ට අනුකම්පා කරන්නේ නම්, පලස්තීන රාජ්‍යය ප්‍රංශය තුළ හෝ මහා බ්‍රිතාන්‍යය තුළ හෝ පිහිටුවීම කළ යුතු බවය. ඊශ්‍රායල කථානායකවරයාගේ මෙලෙස අදහස් පළ කිරීම මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් යම් ආන්දෝලනයක් ඇති කිරීමට ද හේතුවක් වී අවසන්ය.

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව යුද ප්‍රකාශ කිරීමෙන් පසු මේවනවිට පලස්තීන වැසියන් 60,000 ක් මියගොස් ඇතැයි ද පැවැසෙයි. ගතවුණු පැය 24 ක කාලයේ ආධාර ලබා ගැනීමට රැස්ව සිටි පලස්තීන වැසියන් 80 දෙනකු ද ඊශ්‍රායල හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්වූහ.


RECOMMEND POSTS