කුරාණයේ පිටපතකට ගිනි තබති



ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර ඉරාක තානාපති කාර්යාලය ඉදිරිපිට, ශුද්ධ වූ කුරාණයේ පිටපතක් ගිනිබත් කෙරුණි. කුරාණයේ පිටපත් ගිනි තැබීම කළේ ‘ඩෙන්මාර්ක දේශප්‍රේමියෝ’ නමැති අන්ත දක්ෂිණාංශික අදහස් ඇති සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකි.

මෙම ක්‍රියාකාරීන් දෙදෙනා කුරාණයේ පිටපතක් ගිනි තැබුවේ සජීවී ලෙසඑම දසුන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධි කරමිණි.

කුරාණයේ පිටපත ගිනි තබද්දී ඒ අසල බිම ඉරාක ධජයක් ද තබා තිබුණි. විරෝධතාකරුවන් මෙසේ කුරානයේ පිටපතක් ගිනි තැබීම කළේ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇතැයි පෙන්වා දෙමිනි. එහෙයින් පොලිසියේ ද බාධාවක් ඊට එල්ල වූයේ නැත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉරාක විදේශ අමත්‍යාංශය යුරෝපා සංගමයට දැනුම් දී ඇත්තේ, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇතත්, ශුද්ධ වූ කුරාණයේ පිටපත් ගිනි තැබීම කිසිසේත් අනුමත කළ නොහැකි බවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෝපයට පත් ඉරාක වැසියන් පිරිසක් එරට බැග්ඩෑඩ් අගනුවර ඩෙන්මාර්ක තානාපති කාර්යාලයට කඩා වැදීමට උත්සාහ ගත් නමුත් ඉරාක රජය සහ පොලිසිය ඊට එරෙහි විය. පොලිසිය පැවැසුවේ කලහකාරීන් 1,000 කට වැඩි පිරිසක් ඉරානයේ ඩෙන්මාර්ක තානාපති කාර්යාලයට කඩා වැදීමට උත්සාහ ගත් බවය.

‘ඩෙන්මාර්ක දේශප්‍රේමියෝ’ සංවිධානයේ විරෝධතාකරුවන් දෙදෙනා, කෝපන්හේගන් අගනුවර, ඉරාක තානාපති කාර්යාලය ඉදිරියේ කුරානයේ පිටපත් ගිනි තැබීම කළේ පසුගිය දා බැග්ඩෑඩ් අගනුවර ස්වීඩන තානාපති කාර්යාලයට විරෝධතාකරුවන් කඩා වැදී පහර දී ගිනි තැබීමේ සිද්ධියට විරෝධය දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.

ඉරාක විරෝධතාකරුවන්, බැග්ඩෑඩයේ ස්වීඩන තානාපති කාර්යාලයට කඩා වැදී පහර දී ගිනි තැබීම කළේ, පසුගිය ජූනි මාසයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර ප්‍රධාන මුස්ලිම් පල්ලිය ඉදිරියේ ස්වීඩන ක්‍රියාකාරියකු ශුද්ධ වූ කුරාණයේ පිටපතක් ගිනි තැබීමේ සිද්ධිය මුල්කොට ගනිමිනි.

එම අවස්ථාවේදී ද ශුද්ධ වූ කුරාණයේ පිටපත ගිනි තැබීම කළේ අධිකරණයේ අවසරය ඇතිවය. පොලිසියෙන් ද ඊට බාධාවක් එල්ල නොවිණි. අධිකරණය ද එම ක්‍රියාකාරියාට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අවසර දී තිබුණි.


RECOMMEND POSTS