ඔක්ස්ෆර්ඩ් එන්නතට බහරේනයේ කැමැත්ත



බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් සහ ‘ඇස්ට්‍රාසෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම එක් වී නිපදවා ඇති ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත සඳහා බහරේනයේ අනුමැතිය හිමි වී තිබේ.

බහරේනයේ සෞඛ්‍ය නියාමන අධිකාරිය ඔක්ස්ෆර්ඩ් එන්නතට අනුමැතිය ලබා දී ඇත්තේ, ‘කොවිඩ් 19’ වසංගතය හමුවේ, හදිසි තත්ත්වයක් සේ සලකා, බහරේන වැසියන්ට ලබා දීම සුදුසු බව පවසමිනි.

බහරේනයේ ජනගහනය මිලියන 1.6 කි. බහරේන සෞඛ්‍ය අංශ පවසන අන්දමට එරට ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 99,800 කි. මරණ වාර්තා වන්නේ 367 ක් ලෙසය.

බහරේන සෞඛ්‍ය නියාමන අධිකාරිය එරට අනුමැතිය ලබා දුන් තෙවැනි ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ මෙයයි.

බහරේනය පළමුවෙන් අනුමැතිය දුන්නේ ‘ෆයිසර් බයෝඇන්ටෙක්’ එන්නතටය. දෙවැනියට අනුමැතිය දුන්නේ චීනයේ නිෂ්පාදිත ‘සිනෝෆාර්ම්’ එන්නතටය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS