ඉරාක රජය ස්වීඩන තානාපති නෙරපා දමයි



ඉරාකයේ ස්වීඩන තානාපති නෙරපා දැමීමට ඉරාක රජය තීරණය කර තිබේ. ඉරාක රජය මෙසේ තීරණය කළේ, පසුගිය දා කලහකාරී විරෝධතාකරුවන් සියයකට වැඩි පිරිසක්, බැග්ඩෑඞ් අගනුවර ස්වීඩන තානාපති කාර්යාලයට කඩා වැදී පහර දී, තානාපති කාර්යාලය ගිනිබත් කිරීමේ සිද්ධියෙන් පසුවය.

කලහකාරී පිරිස් බැග්ඩෑඩයේ ස්වීඩන තානාපති නාර්යාලයට කඩා වැදී පහර දී ගිනි තැබුවේ, මීට සති කීපයකට පෙර, ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී ස්වීඩන සුදු ජාතිකයන් කීප දෙනකු මුස්ලිම් පල්ලියක් ඉදිරිපිට ප්‍රසිද්ධියේ ශුද්ධ වූ කුරාණයේ පිටපතක් ගිනි තැබීමේ සිද්ධියයි.
මෙම ස්වීඩන ජාතිකයන් කුරාණයේ පිටපත ගිනි තැබුවේ අධිකරණයෙන් ලැබුණු අවසරයකට අනුවය. ස්ටොක්හෝම් පොලිසියෙන් ද ඊට කිසිදු බාධාවක් එල්ල නොවිණි.

ශුද්ධ වූ කුරාණයේ පිටපත් ගිනි තැබීමට ස්වීඩන අධිකරණය අවසර දුන්නේ එරට අදදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කරමිනි. කෙසේ නමුත් මුස්ලිම් රටවලින් ඊට දැඩි විරෝධයක් එල්ල වී තිබේ. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් පවා විරෝධය පළ කළේය.

ස්ටොක්හෝම් නුවරදී ශුද්ධ වූ කුරාණයේ පිටපත් ගිනි තැබීමේ එම සිදුවීම හෙලා දකිමින් ඊට විරෝධය පළ කරමින්, ඉරානයේ ස්වීඩන තානාපතිනී ජෙසිකා වාඞ්ස්ටෝම්  නෙරපා දැමීමට තීරණය කළේ යැයි ඉරාක අග්‍රාමාත්‍ය මොහොමද් ෂියා අල් සුඩානී පැහැදිලි කර තිබේ.
පසුගිය දා අලුයම බැග්ඩෑඞ් අගනුවර පිහිටි ස්වීඩන තානාපති කාර්යාලයට කඩා වැදී පහර දුන් පිරිස් ‘උසි ගැන්වූයේ’ ඉරාකයේ ෂියා මුස්ලිම් ආගමික නායක මුක්ටාඩා අල් සදාර් යැයි පැවැසෙයි. මුක්ටාඩා අල් සදාර් ඉරාකයේ ප්‍රබල දේශපාලන චරිතයකි.


RECOMMEND POSTS