සිරියාව ගැන කියන්න ඉංග්‍රීසි මාධ්‍ය ගිණුමක්



අසත්‍ය ප්‍රචාරයන්ට පිළිතුරු දෙමින් සිරියාවේ නිල ස්ථාවරය සහ සැබෑ තත්ත්වය ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ තැබීම සඳහා සිරියානු තොරතුරු අමාත්‍යාංශය විසින් ඉංග්‍රීසි මාධ්‍ය නිල සමාජ මාධ්‍ය ගිණුමක් ආරම්භ කර තිබේ.

'සිරියන් රෙස්පොන්ස්' (Syrian Response) නමින් හඳුන්වා දී ඇති මෙම ගිණුම ඉකුත් අගෝස්තු 24 වනදා සක්‍රිය කර ඇත. "අපගේ රට ගැන බොහෝ කතාබහ නිර්මාණය වී තිබුණද, මෙතෙක් කාලයක් එකම හඬක් හෝ එහි අඩුව පැවතුණි" යනුවෙන් එහි හඳුන්වාදීමේ සටහනේ දැක්වේ. ප්‍රධාන මාධ්‍ය තුළ කලාතුරකින් වාර්තා වන සිරියාවේ දේශපාලන, ආර්ථික, ආරක්ෂක මෙන්ම එදිනෙදා සාමාන්‍ය ජන ජීවිතයේ තොරතුරු ජාත්‍යන්තරය සමඟ ඍජුව බෙදාගැනීම සිය අරමුණ බව ද එහි වැඩිදුරටත් සටහන් කර ඇත.

බෂාර් අල්-අසාද් පාලන සමයේ පැවති දීර්ඝකාලීන ජාත්‍යන්තර හුදකලා භාවයෙන් පසුව, ජනාධිපති අහමඩ් අල්-ෂරාගේ නව රජය විදේශීය රාජ්‍යයන් සහ ආයෝජකයින් සමඟ සබඳතා නැවත ගොඩනැගීමට උත්සාහ කරන වටපිටාවක මෙම පියවර ගෙන තිබේ. මෙම නව සමාජ මාධ්‍ය ගිණුමේ තැබූ මුල්ම සටහනකින් ජනාධිපති අල්-ෂරා, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු සිරියාව වෙනුවෙන් පෙනී සිටි සියලුම මිත්‍රශීලී රාජ්‍යයන් වෙත සිය කෘතඥතාව පළ කර ඇත.


RECOMMEND POSTS