නෙදන්යාහුට බිරිඳට මේකප් දාන්න කෝටි 3.5ක් වැයවෙලා

2023 වසරේ සිට මේ දක්වා, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ බිරිඳ සාරාට, කොණ්ඩා කැපීම, සැකසීම සහ මේකප් සඳහා වැය වුණු මුදල ඇමෙරිකන් ඩොලර් 103,000 කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 3.5ක් පමණ) වැඩි යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මෙම වියදම් සම්බන්ධයෙන් තොරතුරු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රසිද්ධියට පත් කළේ, ‘තොරතුරු දැනගැනීමේ අයිතිය සඳහා වන ව්‍යාපාරය’ වෙනුවෙන් එහි නීතිඥ යාරා වින්ක්ලර්-ශාලිට්, 2025 දෙසැම්බර් මාසයේදී ගොනු කරන ලද තොරතුරු දැනගැනීමේ පෙත්සමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය, 2019 ජනවාරි සහ 2026 අගෝස්තු තෙක් කාලයේ, කොණ්ඩය කපා සැකසීම සහ මේකප් සඳහා වැය වුණු සමස්ත මුදල අනාවරණය කර ඇති අතර එය ඇමෙරිකන් ඩොලර් 470,000 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 16.3) කි.
2019සිට ඉකුත් අගෝස්තු මාසය දක්වා වියදම් වුණු එම මුදලින්, සියයට 90 කටම දායක වී ඇත්තේ, බෙන්ජමින් නෙතන්යාහු සහ බිරිඳ සාරා ය.
2022 දී, නෆ්තාල් බෙනට් සහ යාල් ලැපිඩ් ද මාරුවෙන් මාරුවට අග්‍රාමාත්‍ය ධුරය හොබවා ඇත. මොවුන් දෙදෙනාගේ කෝණ්ඩය කැපීම, සැකසීම සහ මේකප් සඳහා වියදම් වී ඇති මුදල ඇමෙරිකන් ඩොලර් 23,013 කි. ඉතිරි සියලු මුදල් භාවිතයට ගෙන ඇත්තේ නෙදන්යාහු සහ බිරිඳ යැයි පැවැසෙයි.
2022 දී, නෙදන්යාහුට අග්‍රාමාත්‍ය ධුරය හෙබවීමට නොහැකි වූයේත්, නෆ්තාල් බෙනට් සහ යාල් ලැපිඩ් එක් වී ඔවුන්ට හිතවත් පක්ෂ සමග සන්ධාන රජයක් පිහිටුවා ගත්තේත්, නෙදන්යාහුට දූෂණ චෝදනා එල්ල වී ඒ සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වුණු නිසාය.
2023 දී යළිත් වරක් බලයට පත්වුණු නෙදන්යාහු, තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත ඊශ්‍රායල මහ මැතිවරණයට ද ඉදිරිපත් වෙයි. ඒ දිගටම ධුරයේ රැඳී සිටීමේ අපේක්ෂාවෙනි.

